අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබෙන අතර ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් අද (06) අලුයම 2 පමණ මෙම ගිනිතැබීම සිදුකර තිබේ .
මෙලෙස ඇතිකළ ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත.
එම ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
එම පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණකි. ඉන් පසුව පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පිරිමි දරුවා මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දී 20 හැවිරිදි පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා තිබේ.
එලෙස ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන පුද්ගලයෙක් බව වාර්තා වේ.
තවද ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි සිදුකර දෙපාර්ශ්වයට අවවාද කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.