අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාසල්වල සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාවක් බව පැවසීය.
ඒ අනුව, ජනාධිපතිවරයා මෙහිදී ගුරු ව්‍යවස්ථාවට අනුකූලව විභාගයට පෙනී සිටීමට සංවර්ධන නිලධාරීන් ආරාධනා කරන බවත් ප්‍රකාශ කළේය.
දින කිහිපයක් තිස්සේ ජනාධිපති කාර්යාලය අසල පැවති විරෝධතාවය අතරතුර, පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද (03) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.
මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව සිදු විය. සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ, සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවයි.
ඒ අතර, සංවර්ධන නිලධාරී නියෝජිතයින් පැවසුවේ, වර්තමාන ගැටළු සඳහා වගකීම වත්මන් ආණ්ඩුවට නොමැති වුවද, වෘත්තිකයන් වශයෙන් ඔවුන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණ දී සිටින බව පැහැදිලි බවයි.
මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහත්මරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙයට එක්ව සිටියහ.