ට්‍රම්ප් බදු 25%ට අඩු කලත් අපි අමාරුවේ - රනිල් කියයි [VIDEO]
2028 වන විට ශ්‍රී ලංකාවට ඇත්නම් ණය බර නිසි ලෙස ගෙවීම සඳහා ක්‍රමවේද සෙවීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ වෙනුවෙන් දැන්ම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ, එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය බදු පිළිබඳව ගත් තීරණ හේතුවෙන් නව ආර්ථික අර්බුදයක් දැනටමත් ලොව පුරා පළපුරුද්දෙන් පෙනී යන බවයි.
විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
“ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් දමා තිබෙනවා. ඒ මාස තුන අවසන් වන විට මේ තීරු බද්ද ක්‍රියාත්මක වන්නට නියමිතයි. ට්‍රම්ප් ජනපති එම කාරණය තම මැතිවරණ ප්‍රකාශයේද ප්‍රකාශයට පත් කොට ඇරැඹූ නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට බැහැ.
ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළ ද 25-30% ක හෝ තීරු බදු ගෙවන්න වෙනවා නම් එය අපට විශාල ප්‍රශ්නයක් වෙනවා. අපගේ ව්‍යාපාර වල ලාභාන්තිකය දෙස බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදු වලින් ලාභ ලබන්නට බැහැ.එය අලාභයක් බවට පත්වෙනවා. තීරු බදු වැඩිවීමත් සමග මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩුවෙනවා. ඒ නිසා අපට ප්‍රශ්නය තිබෙනවා.
අප ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මේ මාස තුන අවශ්‍ය වී තිබෙන්නේ රටවල් දෙක අතර සාකච්ඡා පැවැත්වීමටත් චීන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහාත්ය. මේ බද්ද නවත්තන්නට බැහැ .එය ක්‍රියාත්මක වෙනවා. රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකියි. ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි කියනවා. රැකියා නැතිවන ගණන ලක්ෂය වුවත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාලයි.
එමෙන්ම මෙම ව්‍යාපාරයට සම්බන්ධ බෝඩිං කාමර දෙන අය, කඩ සාප්පු පවත්වා ගෙන යන අය ආදී හැම දෙනාගේම ආදායමට මෙයින් පහරක් වැදෙනවා.එපමණක් නොව අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. එමෙන්ම අපේ ගෙවුම් ශේෂයට මෙයින් තවත් බරක් එනවා. අපට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය සහ ලැබෙන මුදල් ප්‍රමාණය අතර පරතරය වැඩි වෙනවා.
අපට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අප ණය ගන්නා ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපට දැන් ඩොලර් මිලියන 300 ක් පමණ නැවත ඒ කාර්තුවට ගෙවන්නට සිදුවී තිබෙනවා. මහ බැංකුවෙන් ගත්තත් ණය ලෙස ගත්තත් එයින් වන්නේ රුපියලේ වටිනාකම අඩු වීමයි. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවී තිබෙනවා. මෙම ප්‍රශ්න වලට අපට මුහුණ දීමට තිබෙනවා.
අපට තිබෙන්නේ 2028 වසරේදී නැවත ණය ගෙවන ඉලක්කය අනුව ක්‍රියා කරන්නයි. එලෙස ණය ගෙවන්නට හැකියාව තිබේදැයි සිතන්නට සිදුවෙනවා. ගිය වසරේදී සියයට පහක වර්ධන වේගයක් ඇතිකර ගන්නට හැකියාව ලැබුණා. මේ අර්බුදය නිසා අපේ වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. මෙයින් ලංකාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතුයි.
මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. මෙම තත්ත්වය ගැන ප්‍රකාශයක් නොකළොත් නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා.මේ අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා රජයෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා”
