දිවයින පුරා විදුලි බිඳවැටීමට කොත්මලේ බලපෑවාද? අමාත්ය අනුර කරුණාතිලකගෙන් හදිසි ප්රකාශයක්
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, අදියර කිහිපයක් යටතේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්ය අනුර කරුණාතිලක මහතා ප්රකාශ කළේය.
ඔක්තෝබර් 16 වැනි සිකුරාදා කොත්මලේ බලාගාරයක ඇති වූ තාක්ෂණික දෝෂයක් විදුලි බිඳවැටීමට බලපෑ හැකි සාධකයක් ලෙස සලකා විමර්ශනය කරන බව ද අමාත්යවරයා සඳහන් කළේය.
විදුලි සැපයුම මේ වන විට එක් ප්රදේශයකට යථා තත්ත්වයට පත් කර ඇති බවත්, ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ සෙසු ප්රදේශවලට ද විදුලිය ලබාදීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ජාතික විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට සහාය වීම සඳහා නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති අක්රිය කරන ලෙස ද අමාත්යවරයා එම පද්ධති හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
දිවයින පුරා විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම මේ මොහොතේ ප්රමුඛතම කාර්යය බව අවධාරණය කළ අමාත්යවරයා, විදුලි බිඳවැටීමට හේතුව සොයා බැලීම සඳහා විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
එතුමා වැඩිදුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
අද උදෑසන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා පද්ධතියේ බිඳ වැටීමක් සිදුවෙලා මුළු දිවයිනටම විදුලිය සැපයීම බාධාවක් ඇති වෙලා විදුලි සැපයුම බිඳ වැටුණා. ජාතික පද්ධති ක්රියාකරු හැටියට අපි ඒ මේ වෙනකොට පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අපි හිතනවා ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. එයා වගේම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම වහල මත සූර්ය පැනල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වන ලෙස ඔවුන්ගේ වහල මත සූර්ය පැනල ස්විච් ඕෆ් කරන්න කියලා.
අපිට තවමත් ප්රධාන හේතුව මොකක්ද කියලා සොයා ගන්න බැහැ. නමුත් අපි මූලික වශයෙන් මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න. ඊයේ දවසේ අප කොත්මලේ එක ප්ලාන්ට් එකක ගැටලුවක් පැනනැගිලා ඒ ප්ලාන්ට් එක බිඳ වැටුණා. ඒ නිසා මේ පද්ධතියේ අසමතුලිතතාවය හැදුනද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටුණද කියන එක කරුණු පිළිබඳ අපි සොයමින් ඉන්නවා. නමුත් අපි හිතනවා
අපි ඉතා ඉක්මනින් මේ ගැටලුව විසඳන්න පුළුවන්. විශේෂයෙන් එක කොටසක විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැනටමත් පුළුවන්කම ලැබුණා. අපි හිතනවා ඒ වගේ කොටස් වශයෙන් මුළු ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.