මොනවා කරත් විදුලි සේවකයන්ට සෙතක් නැතිවෙයි,අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නැහැලු
විදුලබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට විරෝධතාවය ප්‍රකාශ කරමින් විදුලි සේවකයන් අකුරටම වැඩ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.
එය දිගටම පවත්වාගෙන යන අතර රජය විදුලි වෘත්තීය සංගම්වල නායකයන් සමඟ කීප අවස්තාවකදීම සාකච්ඡා කිරීමත් සිදු විය.
නමුත් රජයේ විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් ඔවුන් ඉල්ලීම් කරන අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැති බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.
එහිදී ,
"මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.
විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා. විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ "
යනුවෙන්ද අමාත්‍යවරයා කීය.