“රුදුරු රාජාගේ අවසන් රාත්‍රිය?” - එල් මෙන්චෝ වට කළ ගුප්ත මෙහෙයුමේ ඇතුළත කතාව!
ලෝකයේ බිහිසුණුම පාතාල අපරාධ කල්ලියක් නිර්මාණය කරමින් මෙක්සිකෝවේ සිට ලෝකයම විකල් කළ කුප්‍රකට අපරාධ නායකයා “එල් මෙන්චෝ” (El Mencho) ඝාතනය කිරීමට මෙක්සිකානු බුද්ධි හා ආරක්ෂක අංශ සමත් වී තිබේ. මෙය සිදුවූයේ පසුගියදා (22) ය.
එල් මෙන්චෝ ලෙස ප්‍රකටව සිටි නෙමේසියෝ රුබෙන් ඔසෙගුවේරා සර්වාන්ටේස් (Nemesio Rubén Oseguera Cervantes) මෙක්සිකෝවේ ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයේ (CJNG) නායකයා වූ අතර ඔහු වයස අවුරුදු 59කි. මෙක්සිකෝවේ ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයේ ලෝකයේ අතිශය ප්‍රචණ්ඩකාරී හා බලවත් මත්ද්‍රව්‍ය කල්ලියක් ලෙස සැලකේ.

ඔහු ඝාතනය වූයේ ජලිස්කෝ ප්‍රාන්තයේ දකුණු තපල්පා (Tapalpa) ප්‍රදේශයේ දුර්ගම කඳුකර ආරක්ෂිත ස්ථානයකදීය. මෙක්සිකානු හමුදාව හා ඔහුගේ ආරක්ෂකයින් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, තුවාල ලැබූ ඔහුව මෙක්සිකෝ සිටි (Mexico City) වෙත හෙලිකොප්ටරයකින් රැගෙන යන අතරතුර මිය ගියේය. මෙහෙයුම ඇමරිකානු බුද්ධි අංශවල සහාය ඇතිව සිදු වූ බව වාර්තා වේ.
ඔහුගේ මරණයත් සමඟ මෙක්සිකෝවේ ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලයේ කල්ලියේ එක් යුගයක අවසානයක් සනිටුහන් වූ බව පෙනේ. එහෙත් මෙය මෙක්සිකෝවේ පාතාල ලෝකය තුළ නව බල අරගල ඇති කරමින් ප්‍රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් ඇති කර තිබේ. දිළිඳුකම, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් හා භීෂණය මත ගොඩනැඟුණු ගෝලීය මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයක නායකයෙකුගේ ජීවිත කතාව මෙසේ අවසන් වේ.
මිචෝකාන් හි ගත “එල් මෙන්චෝ”ගේ ළමා කාලය
නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටේස් හෙවත් එල් මෙන්චෝ 1966 ජූලි 17 වන දින මිචෝකාන් ප්‍රාන්තයේ අගුයිලිලා හි නරන්ජෝ ද චිලා නම් ග්‍රාමීය ප්‍රජාවක උපත ලැබීය. නරන්ජෝ ද චිලා යනු මෙක්සිකෝවේ අතිශය දුෂ්කර පළාතකි. දුගීකම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත උරුමයක් වී තිබිණි.
එල් මෙන්චෝ ගේ දෙමව්පියන් අන්ත දිළිඳු ගොවීන් වූ අතර, ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූයේ අලිගැටපේර වගාවය. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ නඩත්තුව සඳහා කුඩා එල් මෙන්චෝ ට වයස අවුරුදු 10 දී පමණ පාසල් ගමන නතර කිරීමට සිදු විය. සුන්දර ළමා කාලයක් වෙනුවට ඔහුට හිමිවූයේ දැඩි හිරු රශ්මිය යටතේ අලිගැටපේර වතුවල කුලී වැඩ කිරීමය. කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට සීමිත අවස්ථාවන් සහිත මෙම හුදකලා ප්‍රදේශයේ ජීවිතය භූ ගත කළ එකක් වූයේය.

මිචෝකාන් හි සාරවත් පසෙහි අලිගැටපේර පමණක් නොව ගංජා සහ පොපි ද වැවුනේය. මෙම වතුයායන් පසුව මත්ද්‍රව්‍ය කාටල්වල පාලනයට නතු වීමත් සමඟ, කුඩා කාලයේදීම ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී වෙළඳාම එල් මෙන්චෝගේ ඇස් පනාපිටම සාමාන්‍ය දෙයක් බවට පත් විය. මේ පසුබිමේ දී මෙන්චෝගේ පවුල සාමකාමී ගොවි පවුලක් ලෙස පෙනුනද, ඔහුගේ සහෝදරයන් කිහිප දෙනෙකුම අපරාධ ලෝකය සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම ඔහුගේ සහෝදරයෙකු වූ ඒබ්‍රහම් ඔසෙගුවේරා, මෙන්චෝට අපරාධ ලෝකයේ මූලික පාඩම් ඉගැන්වූ අයෙකු ලෙස සැලකුනේය. දරිද්‍රතාවයෙන් මිදීමට ඇති එකම මග මත්ද්‍රව්‍ය ජාවාරම බව ඔහුගේ පවුල් පරිසරය තුළ මුල් බැස තිබූ මතයකි.
කැලිෆෝනියාවට පැන යෑම
1980 දශකයේ අගභාගයේදී ඔහු සහ ඔහුගේ සහෝදරයන් එක්ව ඇමරිකාවට හොර රහසේ සංක්‍රමණය වීමට තීරණය කළේද, තම දෙමව්පියන් විඳි දිළිඳුකමෙන් මිදී ඉක්මනින් මුදල් සෙවීමේ අරමුණිනි. එහිදී ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හි වීදිවල මත්ද්‍රව්‍ය විකුණමින් තම අපරාධ ජීවිතය නිල වශයෙන් ආරම්භ කළේය. හෙරොයින් සහ මෙතම්පෙටමින් (Methamphetamine) ජාවාරම ඔහුගේ රැකියාව විය.
මේ ජාවාරම් සදාකාලික වූයේ නැත. ඔහු විටින් විට සැන් ෆ්‍රැන්සිකෝ ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් විය. වර්ෂ 1986 දී පහරදීමක් සම්බන්ධයෙන්ද, 1994 දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද, පසුව මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය.
අනතුරුව ඔහු 1997 දී පමණ නැවත මෙක්සිකෝවට පිටුවහල් කරනු ලැබුවේය.
මෙක්සිකෝවට පැමිණි පසු එල් මෙන්චෝ ජලිස්කෝ ප්‍රාන්තයේ ටොමැට්ලාන් (Tomatlán) නගරයේ නගරබද පොලිස් ඒකකයට (Municipal Police) එක් විය. එම කාලවකවානුවේ මෙක්සිකෝවේ කුඩා නගරවල පොලිස් සේවයට එක්වීමට ඉහළ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමක් සිදු නොවුණි. දූෂණය සහ පවුල් සබඳතා මත එවැනි රැකියා ලබා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ඉතිහාසයක් සහිත පවුලකින් පැවත එන, නීති විරෝධී ලෙස විදේශගත වී මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ වරදට සිර දඬුවමකට ලක් කර යළි මෙක්සිකෝව වෙත පිටුවහල් කරන අපාරාධ ඉතිහාසයක් සහිත හරිහමන් අධ්‍යාපනයක් නැති පුද්ගලයෙකුට මෙක්සිකෝවේ පොලිසියේ සේවයට බැඳීමට ලැබීම එදා මෙක්සිකෝවේ ස්වරූපය කියා පෑවේය.
එල් මෙන්චෝ ඉන් පසු ටොමැට්ලාන් හි පොලිස් නිලධාරියෙකු ලෙස කෙටි කාලයක් සේවය කළේය. එය දෛවයේ සරදමක් බඳු වූ අතර, එමගින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල උපක්‍රම පිළිබඳව ඔහුට අභ්‍යන්තර දැනුමක් ලැබුණි. එමෙන්ම ඔහුට පොලිස් සේවයට සම්බන්ධ විශාල පිරිසක් සමග සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනීමට ද හැකි විය.
ටික කාලයක් පොලිස් සේවයේ සිටි එල් මෙන්චෝ පසුව අපරාධ කල්ලියකට එක් විය. ඔහු එක් වන්නේ ‘මිලේනියෝ කාටලය’ (Milenio Cartel) නැමැති කුප්‍රකට අපරාධ කල්ලියටය. එම කල්ලිය සමග එක් වීමෙන් පසු කුප්‍රකට අපරාධකරුවන් වූ ඉග්නේෂියෝ “නාචෝ” කොරොනෙල් වැනි ප්‍රබලයන් යටතේ ඔහු සේවය කළේය. මේ අත්දැකීම් සමග ඔහු වඩාත් කැපී පෙනුන පෞරුෂ ලක්ෂණයක් ඔහු තුළ විය. ඒ ඔහු තුළ පැවති අමානුෂිකත්වය සහ කෙළවරක් නොපෙනුන කුරිරුකමය. මෙම කාල පරිච්ඡේදය ඔහුගේ අපරාධ ලෝකයේ පූර්ණ ගිල්ම සනිටුහන් කළ අතර, එහිදී පක්ෂපාතිත්වය සහ ප්‍රචණ්ඩත්වය ඔහුගේ ඉදිරි ගමනට ඉවහල් විය.
අපරාධ ලෝකයේ රජු දක්වා
[
2000 දශකයේ මුල් භාගයේදී, ප්‍රධාන පෙළේ අත්අඩංගුවට ගැනීම් සහ 2010 දී කුප්‍රකට අපරාධ කල්ලි නායක නාචෝ කොරොනෙල්ගේ ඝාතනයත් සමඟ එල් මෙන්චෝ සම්බන්ධව සිටි ‘මිලේනියෝ කාටලය’ බිඳ වැටීමට පටන් ගත්තේය. මෙන්චෝ මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අතර, 2007-2009 කාලය තුළ කුප්‍රකට අපරාධ කල්ලි ක්‍රියාකාරීන්වන එරික් වැලෙන්සියා සලසාර් (“El 85”) වැනි සගයන් සමඟ එක්ව ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටල් (CJNG) නමින් නව අපරාධ කල්ලියක් ආරම්භ කළේය. මුලදී සිනලෝවා කාටලයේ (Sinaloa Cartel) සන්නද්ධ අංශයක් ලෙස ක්‍රියා කළ CJNG, පසුව ඉන් වෙන්විය. පසුව ‘ලොස් සේටාස්’ (Los Zetas) සහ ‘නයිට්ස් ටෙම්ප්ලර්’ (Knights Templar) වැනි ප්‍රතිවිරුද්ධ කල්ලි සමඟ දරුණු බල අරගල මෙන්චෝ ගේ කලිල්ය ආරම්භ කළේය.
මේ වකවානුවේ මෙක්සිකානු අපරාධ ලෝකය පාලනය කළේ “සිටුවරුන්” බඳු සුඛෝපභෝගී ජීවිත ගත කළ නායකයන්ය. විශේෂයෙන්ම ‘සිනලෝවා’ (Sinaloa) කාටලයේ එල් චාපෝ (El Chapo) වැනි නායකයන් සමාජය ඉදිරියේ පෙනී සිටියේ “දුප්පතුන්ගේ වීරයන්” ලෙසය. ඔවුන් සතුව රත්‍රන් ආලේපිත ගිනිඅවි, පෞද්ගලික සත්වෝද්‍යාන සහ අරාබි අශ්වයන්ගෙන් පිරි ගොවිපළවල් තිබුණි. ඔවුන් තම බලය පවත්වාගත්තේ දේශපාලනඥයන්ට අල්ලස් ලබා දෙමින් සහ යම් ප්‍රමාණයක ගෞරවනීය ස්වරූපයක් ආරූඪ කරගනිමිනි.
එල් මෙන්චෝ මේ අතරට පැමිණියේ අල්පේච්ඡ, එහෙත් අතිශය මාරාන්තික “වෘත්තීය මිනීමරුවෙකු” ලෙසය. ඔහු එවකට සිටි නායකයන් මෙන් සුඛෝපභෝගී සාදවලට හෝ ප්‍රසිද්ධියට කැමති වූයේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ සාම්ප්‍රදායික නායකයන් සතු වූ එම සුඛෝපභෝගී “ප්‍රභූ” සංස්කෘතිය බිඳ දමා, හමුදාමය විනයක් සහිත අතිශය ප්‍රචණ්ඩකාරී නව බලවේගයක් ගොඩනැඟීමය.
එහෙත් ඔහු සිය අපරාධ ලෝකය තහවුරු කරගැනීම සඳහා දේශපාලනය භාවිතා කළේය. CJNG කාටලය ප්‍රාදේශීය නගරාධිපතිවරුන්ගේ සිට ඉහළ පෙළේ දේශපාලනඥයන් දක්වා මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයූ අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා “නිදහස් මාවත්” ලබාගත්තේය. මෙහිදී ඔහු “ප්ලාටා ඕ ප්ලෝමෝ” (රිදී හෝ ඊයම්) යන උපක්‍රමය දැඩි ලෙස භාවිත කළේය. එනම් එක්කෝ කාටලයේ මුදල් (රිදී) ලබාගෙන ඔවුන්ට සහාය දිය යුතුය, නැතහොත් වෙඩි උණ්ඩවලට (ඊයම්) ගොදුරු විය යුතුය.
2021 සහ 2024 මෙක්සිකානු මැතිවරණ සමයන්හිදී තම අභිමතයට අවනත නොවන අපේක්ෂකයින් සිය ගණනක් ඝාතනය කිරීමට මෙන්චෝ නියෝග දුන් බවට සාක්ෂි හෙළි වී තිබේ. මෙමගින් දේශපාලන තන්ත්‍රය තුළ භීෂණය වපුරා තම කල්ලියට හිතවත් පාලනයක් පවත්වාගෙන යාමට ඔහු සමත් විය.
එමෙන්ම එල් මෙන්චෝ මුල් කාලයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර තිබීම නිසා ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබුණි. ඔහු ප්‍රාදේශීය සහ ෆෙඩරල් පොලිසියේ උසස් නිලධාරීන් රැසකට මාසික වැටුප් ගෙවමින් ඔවුන්ව තම “තොරතුරුකරුවන්” බවට පත් කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජය විසින් ඔහු අල්ලා ගැනීමට දියත් කළ බොහෝ රහසිගත මෙහෙයුම් ආරම්භ වීමටත් පෙර ඔහුට ඒ පිළිබඳ තොරතුරු ලැබුණි.
2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය හමුදා හෙලිකොප්ටරයකට රොකට් ප්‍රහාර එල්ල කිරීමට තරම් ඔහුට සහ ඔහුගේ සන්නද්ධ කල්ලියට හමුදා ශක්තියක් සහ පූර්ව තොරතුරු ලැබී තිබුණේ ආරක්ෂක අංශ තුළ සිටි ඔහුගේ හිතවාදීන්ගෙනි. එමෙන්ම, සිරගතව සිටින තම පවුලේ සාමාජිකයන්ට සහ සගයන්ට බන්ධනාගාර තුළ පවා විශේෂ පහසුකම් සැලසීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.
එල් මෙන්චෝගේ නැගීම වඩාත් කැපී පෙනුණේ එවකට මෙක්සිකෝවේ බියකරුම කල්ලිය ලෙස සැලකුණු ‘ලොස් සේටාස්’ සමඟ ඇති වූ ගැටුමත් සමඟය. ලොස් සේටාස් යනු මෙක්සිකානු හමුදාවෙන් පැන ආ විශේෂ බලකා සෙබළුන් පිරිසක් විසින් පිහිටුවාගත් කල්ලියකි. ඔවුන් සාම්ප්‍රදායික කාටල් නායකයන්ට වඩා ප්‍රචණ්ඩ වූ අතර, මෙන්චෝගේ CJNG කල්ලිය මුලින්ම කරළියට පැමිණියේ මෙම ‘සේටාස්’ කල්ලිය මර්දනය කිරීම පෙරට ගනිමිනි. මෙන්චොගේ කල්ලිය “පොදු ජනතාවගේ ආරක්ෂකයන්” ලෙස පෙනී සිටිමින් “Mata Zetas” (සේටාස් දඩයම්කරුවන්) නමින් මෙහෙයුමක් ආරම්භ කළේය.
2011 වසරේදී වෙරාකෲස් (Veracruz) නගරයේ මහාමාර්ගයක් මත ‘සේටාස්’ සාමාජිකයන් 35 දෙනෙකුගේ මළසිරුරු ගොඩගසා ප්‍රදර්ශනය කරමින් මෙන්චෝ මුළු ලෝකයේම අවධානය තමන් වෙත යොමු කර ගත්තේය. මෙය එවකට අපරාධ ලෝකයේ සිටි මුල් පෙළේ අපරාධකරුවන් පවා භීතියට පත් කළ ක්‍රියාවක් වූ අතර, පසුව ඔහු එම ජනප්‍රියත්වය භාවිත කරමින් තම ස්වාධීන අධිරාජ්‍යය (CJNG) ගොඩනැගුවේය.
තමන්ගේම මත්ද්‍රව්‍ය කම්හල් සහ වගා බිම්
එල් මෙන්චෝ හුදෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙකු පමණක් නොව, ඔහු සැබෑ නිෂ්පාදකයෙකු ද විය. මිචෝකාන් සහ ගුවෙරේරෝ ප්‍රාන්තවල පිහිටි දුෂ්කර කඳුකර ප්‍රදේශවල හෙක්ටයාර දහස් ගණනක පොපි (Poppy) සහ ගංජා වගාවන් ඔහු සතු විය. හෙරොයින් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු ලබාගත්තේ මෙම වතුයායවලිනි. මෙන්චෝගේ බලය සැබවින්ම වර්ධනය වූයේ ඔහු විසින් ස්ථාපිත කළ “මෙතම්පෙටමින්” (Meth) සහ “ෆෙන්ටැනයිල්” නිෂ්පාදනය කරන රහසිගත රසායනාගාර ජාලය නිසාය. කැලෑබද ප්‍රදේශවල පිහිටුවා තිබූ මෙම දැවැන්ත කම්හල් තුළ එකවර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සිය ගණනක් නිෂ්පාදනය කළ හැකි විය.
ෆෙන්ටැනයිල් නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය (Precursor chemicals) ඔහු සෘජුවම චීනයෙන් ගෙන්වා ගත් අතර, ඔහු යටතේ සිටි රසායන විද්‍යාඥයන් එම ද්‍රව්‍ය යොදාගෙන ලොව බලවත්ම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළහ. මේ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ එල් මෙන්චෝ ගේ CJNG කාටලයේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඉපයු බව ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව, මෙන්චෝගේ පාලනය යටතේ මාසිකව උපයා ඇති ආදායම දළ වශයෙන් ඩොලර් මිලියන 600 ඉක්මවීය. මෙම අතිවිශාල ධනය උපයා ගත්තේ හුදෙක් මත්ද්‍රව්‍යවලින් පමණක් නොව, කප්පම් ගැනීම්, ඉන්ධන සොරකම් කිරීම් සහ නීති විරෝධී පතල් කැණීම් වැනි විවිධ ක්ෂේත්‍රයන් ද තමන් යටතට ගැනීමෙනි.
රහස්‍ය භාවය ආරක්ෂා කරගත් හැටි
මෙන්චෝගේ මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරවල අති විශේෂ හැකියාවන් සහිත රසායන විද්‍යාඥවරු සේවය කළහ. එමෙන්ම මෙන්චෝ මරා දැමෙන විට සිටියේ වකුගඩු අකර්මණ්‍යතාවයකින් පෙළෙමිනි. ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා නවීන පහසුකම්වලින් යුතු රෝහලක් ද මෙම බලකොටුව තුළ විය. එම රෝහලේ සේවය සපයනු ලැබුවේ විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. එල් මෙන්චෝ වෙනුවෙන් සේවය කළ රසායන විද්‍යාඥයින් (Cooks) සහ වෛද්‍යවරුන් සමාජයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබුණි. ඔවුන්ව කාටලය විසින් හඳුන්වනු ලැබුවේ “වටිනා සම්පත්” ලෙස වුවද, ප්‍රායෝගිකව ඔවුන් ගත කළේ අතිශය දැඩි රැකවල් සහිත සිරකරුවන්ගේ ජීවිතයකි.
මෙන්චෝ වෙනුවෙන් කැලෑබද රසායනාගාරවල හෝ රහසිගත රෝහල්වල සේවය කළ වෘත්තිකයන්ට තම පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්වීම තහනම් කර තිබුණි. ඔවුන්ව එම ස්ථාන කරා රැගෙන එනු ලැබුවේ ඇස් බැඳ, විවිධ රහසිගත මාර්ග හරහාය. ඒ අනුව තමන් සිටින්නේ භූ ගෝලීය වශයෙන් කොතැනදැයි තේරුම් ගැනීමට පවා ඔවුන්ට නොහැකි විය. ඕනෑම තොරතුරක් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා කාටලය “සාමූහික වගකීම” (Collective Responsibility) නමැති බිහිසුණු නීතිය ක්‍රියාත්මක කළේය.
එනම්, යම් වෛද්‍යවරයෙකු හෝ රසායන විද්‍යාඥයෙකු තොරතුරක් පිටතට ලබා දුන්නහොත්, ඔහුට අමතරව ඔහුගේ මුළු පවුලම අනුකම්පා විරහිතව ඝාතනය කරන බවට මෙන්චෝ තර්ජනය කර තිබුණි. එමෙන්ම ඔවුන්ගේ සියලුම සන්නිවේදන උපකරණ කාටලයේ තාක්ෂණික අංශය විසින් පැය 24 පුරාම නිරීක්ෂණය කරන ලදී. මෙම වෘත්තිකයන්ට සාමාන්‍ය සේවයකදී ලැබෙනවාට වඩා දස ගුණයක පමණ වැටුපක් ලබා දීමට මෙන්චෝ කටයුතු කළේය. එය ඔවුන්ව එම මාරාන්තික රැකියාව තුළ රඳවා ගැනීමට යොදාගත් “රන් ඇම” විය. එහෙත්, මෙන්චෝගේ අසනීප තත්ත්වය උත්සන්න වූ කාලවකවානුවලදී ඔහුට ප්‍රතිකාර කළ ඇතැම් වෛද්‍යවරුන්, එම රහස් පිටතට යනු ඇතැයි යන සැකය මත ප්‍රතිකාර අවසානයේ “අතුරුදහන්” කළ බවට ද සත්‍යාපිත නොවන බුද්ධි වාර්තා පවතී.
මාරාන්තික වැටලීම සිදු වූ අයුරු
එල් මෙන්චෝ අල්ලා ගැනීමේ මෙහෙයුම හුදෙක් හමුදා ප්‍රහාරයක් නොව, ඉතා සංකීර්ණ තාක්ෂණික සහ බුද්ධි තොරතුරු මත පදනම් වූවකි. ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) සහ මෙක්සිකානු නාවික හමුදා බුද්ධි අංශ එක්ව මාස කිහිපයක් තිස්සේ මෙන්චෝගේ පණිවිඩකරුවන් සහ ඔහුගේ රහසිගත වෛද්‍ය ප්‍රතිකාර සපයන්නන් නිරීක්ෂණය කරන ලදී. එල් මෙන්චෝ වසර කිහිපයක සිට දරුණු වකුගඩු අකර්මණ්‍ය වීමේ (Renal Failure) රෝගයකින් පීඩා වින්ද ආකාරය බුද්ධි අංශ විසින් අනාවරණය කරගත්තේය.
මෙය ඔහුගේ අපරාධ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබිණි. වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔහුට නිරන්තරයෙන් රුධිර කාන්දුකරණය (Dialysis) අවශ්‍ය වූයේය. මේ හේතුවෙන් ඔහු තම රහසිගත බලකොටුවක් වූ ජලිස්කෝ හි ‘එල් අල්කැන්සෝ’ (El Alcance) ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් ඉදිකර ගත්තේය. වකුගඩු රෝගය හේතුවෙන් ඔහුගේ ශරීරය බෙහෙවින් දුර්වල වී තිබූ අතර, අවසාන වසර දෙක තුළ ඔහුට බොහෝ විට ඇවිදීමට පවා අපහසු වූ බව වාර්තා විය. ඔහු සම්බන්ධව සිදුකළ තීව්‍ර සොයාබැලීම්වලදී ඔහු ජලිස්කෝ ප්‍රාන්තයේ තපල්පා ප්‍රදේශයේ දුෂ්කර කඳුකර නිවසක රැඳී සිටින බවට ස්ථිර තොරතුරු ලැබුණි.
පෙබරවාරි 22 දින අලුයම, මෙක්සිකානු විශේෂ බලකා සාමාජිකයන් සහ නාවික හමුදා භටයන් කළු පැහැති “Black Hawk” හෙලිකොප්ටර් යානා භාවිත කරමින් එම ප්‍රදේශය වට කළහ. මෙන්චෝගේ ආරක්ෂක වළල්ල සතු වූ ඩ්‍රෝන සහ රේඩාර් පද්ධති මග හැරීම සඳහා හමුදාව ඉතා පහළින් පියාසර කරන “නිහඬ” (Stealth) තාක්ෂණික උපක්‍රම භාවිත කළේය. හමුදාව වාසස්ථානය වට කරන විට, මෙන්චෝගේ ප්‍රභූ ආරක්ෂක බලකාය (Elite Group) දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.
ඔවුන් සතු වූ මැෂින් තුවක්කු සහ ස්නයිපර් අවි හේතුවෙන් විනාඩි 40කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවක් පැවතිණි. මෙහිදී හමුදාව විසින් මෙන්චෝගේ ආරක්ෂකයන් රැඳී සිටි බංකර් විනාශ කිරීමට ගුවනින් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගැටුමේදී මෙන්චෝගේ උදරයට සහ පපුවට වෙඩි වැදී බරපතල තුවාල ලැබීය. ඔහුගේ සගයන් ඔහුව රැගෙන පලා යාමට රැගෙන යාමට උත්සාහ කළද, හමුදාව විසින් එම මාර්ග ද අවහිර කර තිබුණි. අවසානයේ තුවාල ලැබූ මෙන්චෝ අත්අඩංගුවට ගෙන වහාම හෙලිකොප්ටරයක් මගින් මෙක්සිකෝ සිටි හි පිහිටි හමුදා රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කළ නමුත්, වකුගඩු අකර්මණ්‍යව සිටි මෙම අපරාධකරු අධික රුධිර වහනය සහ හෘදයාබාධයක් හේතුවෙන් අතරමගදී මියි ගියේය.
මෙහෙයුමේ සාර්ථකත්වයට හේතු වූ “අභ්‍යන්තර පාවාදීම”
පසුකාලීන වාර්තාවලට අනුව, මෙම මෙහෙයුම සාර්ථක වීමට CJNG කාටලයේම ඉහළ පෙළේ සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරු තීරණාත්මක වී ඇත. මෙන්චෝගේ අසනීප තත්ත්වය හේතුවෙන් කාටලය තුළ ඇති වූ අභ්‍යන්තර බල අරගලය මෙම පාවාදීමට හේතු වූ බව විශ්වාස කෙරේ. ආරක්ෂක අංශ විසින් එම තොරතුරුකරුට ලබා දුන් පොරොන්දුවක් මත, මෙන්චෝගේ රහසිගතම ආරක්ෂක උපක්‍රම අක්‍රීය කළ හැකි “කවුළුවක්” හමුදාවට විවෘත විය.
මෙවැනි ඉහළ පෙළේ පාවාදීමකදී, අදාළ පුද්ගලයාට සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට උපරිම රාජ්‍ය ආරක්ෂාව ලබා දීම සම්මතයකි. මෙක්සිකානු බලධාරීන් සහ ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකය (DEA) අතර ඇති එකඟතාවය අනුව, එම පුද්ගලයා සහ පවුලේ අය වහාම ඇමරිකා එක්සත් ජනපදය වෙත රහසිගතව රැගෙන ගොස් ඇති බවට විශ්වාස කෙරේ. එහිදී ඔවුන්ට නව අනන්‍යතාවක් ලබා දීම සිදුවනු ඇත. ඔවුන්ගේ පැරණි නම, ගම සහ සියලුම ලේඛන මකා දමා නව නම් සහ නව උප්පැන්න සහතික සහිත “නව ජීවිතයක්” ලබා දෙනු ඇත.
කාටල් කල්ලිවලින් සිදුවන පළිගැනීම්වලින් බේරීම සඳහා ඔවුන්ට ප්ලාස්ටික් සැත්කම් මගින් මුහුණේ ස්වරූපය වෙනස් කිරීමට පවා පහසුකම් සැලසෙනු ඇත. ඇමරිකානු ෆෙඩරල් මාර්ෂල්වරුන් ) යටතේ ඔවුන් වසර ගණනාවක් යනතුරු දැඩි රහසිගත රැකවල් මැද ජීවත් විය යුතුය. මෙක්සිකානු බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන්නේ, මෙම තොරතුරු ලබා දුන් පුද්ගලයා CJNG කාටලයේ “ඉහළම මණ්ඩලයේ” සාමාජිකයෙකු බැවින්, ඔහු සොයා ගැනීමට කාටලය මේ වන විටත් විශාල මුදලක් වෙන් කර ඇති බවය. CJNG වැනි කල්ලි “පාවා දෙන්නන්” (Snitches) සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අතිශය කුරිරු ප්‍රතිපත්තියකි. මේ හේතුවෙන් එම පුද්ගලයාට තම ජීවිත කාලය පුරාම රජයේ දැඩි ආරක්ෂාව යටතේ, තම මව්බිමෙන් බැහැරව රහසිගතව ජීවත් වීමට සිදුවනු ඇත.