ලැව්ගින්නෙන් ගිනිගෙන විනාශ වූ බෝර්නියෝ වනයෙන් - ඔරංඔටන් පැටවුන් ඇතුළු අටදෙනෙක් යළි වනයට මුදාහරියි
ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ ලැව්ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් සිටි ඔරංඔටන් වානරයන් අටදෙනෙකු යළිත් ස්වභාවික පරිසරයට මුදාහැර තිබේ.
මව් ඔරංඔටන් වානරයන් තිදෙනෙකු, ඔවුන්ගේ පැටවුන් තිදෙනෙකු සහ වැඩිහිටි පිරිමි ඔරංඔටන් වානරයන් දෙදෙනෙකු මෙලෙස පසුගිය සිකුරාදා බෝර්නියෝ දූපතේ බටහිර ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට මුදාහැර ඇති බව ජාත්‍යන්තර සත්ව ගලවාගැනීමේ සංවිධානයේ ඉන්දුනීසියානු ශාඛාව (International Animal Rescue Indonesia) සහ එරට වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ලැව්ගිනි හේතුවෙන් වාසස්ථාන අහිමි වූ සතුන්
ඉන්දුනීසියානු බලධාරීන් විසින් පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ලැව්ගිනි හේතුවෙන් අවදානමට ලක්වූ ඔරංඔටන් වානරයන් 46 දෙනෙකු බේරාගෙන තිබේ.
ඉන්දුනීසියාවේ වියළි කාලයේදී ලැව්ගිනි ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මේ වසරේදී ඒවායේ තීව්‍රතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
බේරාගත් ඔරංඔටන් වානරයන් අටදෙනා යළි වනයට මුදාහැරීම ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ගත් අත්‍යවශ්‍ය පියවරක් බව International Animal Rescue Indonesia සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කර්මේල් ලියානෝ සැන්චෙස් පවසා තිබේ.
පොල් සහ රබර් වගාබිම්වල ජීවත් වූ ඔරංඔටන් පවුල
බේරාගෙන යළි වනයට මුදාහළ සතුන් අතර මමා නෝපි (Mama Nopi) නමැති මව් ඔරංඔටන් වානරයා සහ ඇගේ පැටවුන් වන නෝපි, නවුෆාල් සහ නෝපාන් ද සිටිති.
ඔවුන් සැප්තැම්බර් මස මුලදී බේරාගන්නා තෙක් පොල් සහ රබර් වගාබිමක ජීවත් වී තිබේ. අවට වනාන්තර ගින්නෙන් විනාශ වීම නිසා ඔවුන්ට ආහාර සොයාගැනීම දුෂ්කර වී ඇති අතර, මිනිසුන්ට සමීප ප්‍රදේශවලට පැමිණීමට ද සිදුව තිබේ.
මමා ලිෆා (Mama Lifa) සහ ඇගේ පැටවා ලිෆා තවත් අවදානම් තත්ත්වයකට මුහුණ දී තිබුණි.
ඔවුන් සොයාගෙන තිබුණේ තෙල්පාම් වගාබිම්වලින් සම්පූර්ණයෙන්ම වටවී තිබූ ඇකේෂියා ගස් සහිත කුඩා බිම් කැබැල්ලකිනි. මමා මෑන් (Mama Man) සහ ඇගේ පැටවා මෑන් ජුනි මාසයේ සිට සත්ව ගලවාගැනීමේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව සිට ඇත.
ඔවුන් ජීවත් වූයේ කුඩා වනාන්තර කොටසකට යාබද වගාබිමකය. එම ප්‍රදේශයට ද ලැව්ගිනි පැතිරීමත් සමඟ ඔවුන්ට සැරිසැරීමට තිබූ සීමිත භූමි ප්‍රමාණය තවදුරටත් අඩු වී තිබේ.
වෙනත් වනාන්තර ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කිරීමට තිබූ මාර්ග අවහිර වීම නිසා ඔවුන් ද බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට සිදුව ඇත.
ආරක්ෂිත රක්ෂිතයක් තෝරාගත්තේ ඇයි?
මෙම ඔරංඔටන් වානරයන් මුදාහැරීම සඳහා තෝරාගත් රක්ෂිතයේ ප්‍රමාණවත් ආහාර හා ජලය පවතින අතර, එය වෙනත් වනාන්තර ප්‍රදේශ සමඟ ද සම්බන්ධ වී තිබේ.
ගලවාගත් සතුන් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගෙන යාම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඔවුන්ට ස්වභාවික පරිසරයේ ජීවත් වීමට සැබෑ අවස්ථාවක් ලබාදීම අරමුණ බවත් එම සංවිධානයේ ආර්ගිටෝ රැන්ටින්ග් සඳහන් කර තිබේ.
වඳවීමේ දැඩි අවදානමක සිටින ඔරංඔටන් වානරයන්
ලෝකයේ වඳවීමේ දැඩි අවදානමකටලක්ව සිටින සතුන් අතරට ඔරංඔටන් වානරයෝ ද අයත් වෙති. WWF සංරක්ෂණ සංවිධානයේ දත්ත අනුව, දැනට බෝර්නියෝ සහ සුමාත්‍රා දූපත්වල ඔරංඔටන් වානරයන් 104,000ක් පමණ ජීවත් වෙති.
එහෙත් මීට සියවසකට පෙර එම සංඛ්‍යාව 230,000කට අධික වූ බව සඳහන් වේ. ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමය (IUCN) පසුගිය මාසයේදී අනතුරු අඟවා තිබුණේ බෝර්නියෝ දූපතේ ඔරංඔටන් වානර ජනගහනයෙන් සියයට 52ක් ජීවත් වන වාසස්ථානවල ලැව්ගිනි පැතිරෙමින් පවතින බවයි.
දේශගුණික විපර්යාස වත්මන් වේගයෙන්ම ඉදිරියට ගියහොත්, මෙම සතුන්ගේ වාසස්ථානවල විශාල කොටසක් ඔවුන්ට ජීවත් වීමට නුසුදුසු තත්ත්වයට පත්විය හැකි බව ද විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙවර ලැව්ගිනි තීව්‍ර වීමට එල් නිනෝ (El Niño) දේශගුණික සංසිද්ධිය ද බලපා ඇති බව වාර්තා වේ.
ඊට අමතරව, වගාබිම් පුළුල් කිරීම සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම ද ඉන්දුනීසියාවේ ලැව්ගිනි පැතිරීමට හේතුවක් ලෙස සැලකේ.
ඔරංඔටන් වානරයන්ගේ මුල් වාසස්ථාන ගින්නෙන් විනාශ වී කුඩා කොටස්වලට වෙන්වීම නිසා එම ප්‍රදේශවල ඔවුන්ට තවදුරටත් ජීවත් වීමට නොහැකි වීම, මෙම සතුන් ආරක්ෂිත රක්ෂිතයකට රැගෙන යාමට ප්‍රධාන හේතුව වී තිබේ.