යේමනයේ කාන්තාරයේ හුති සටන් ඇවිළෙයි - ලෝක තෙල් සැපයුමටත් තර්ජනයක්?
යේමනයේ හූති කැරලිකරුවන් සහ රජයට සහාය දක්වන හමුදා අතර යළිත් උත්සන්න වී ඇති සටන් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවට මෙන්ම ලෝක බලශක්ති සැපයුමට ද දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ.
විශේෂයෙන්ම ජාත්‍යන්තර නාවික ගමනාගමනයට වැදගත් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රදේශවල පාලනය වෙනුවෙන් සිදුවන සටන් කෙරෙහි ලෝකයේ අවධානය යොමුව ඇත.
ජාත්‍යන්තර වාර්තාකාරිනී ඔර්ලා ගුරින්, යේමනයේ නිරිතදිග ප්‍රදේශයේ රජයට සහාය දක්වන දකුණු හමුදා කණ්ඩායම් සමඟ සිදුකළ සංචාරයකදී මෙම සටන්වල බිහිසුණු ස්වභාවය සහ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ.
කාන්තාරයේ බලය අල්ලා ගැනීමට දරුණු සටන්
යේමනයේ ලාහ්ජ් පළාතේ ෂාබ් අල්-ජින් ප්‍රදේශයේදී හූති කැරලිකරුවන්ගෙන් ප්‍රදේශය මුදාගත් බව රජයට සහාය දක්වන හමුදා පවසයි.
එහිදී අලුතින් ඉදිකරන ලද වැලි ගෝනිවලින් සකස් කළ ආරක්ෂක ස්ථාන ද දැකගත හැකි විය. දකුණු හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරියකු වන තව්ෆික් අල්-හබූන් පවසන්නේ එම ප්‍රදේශයේ දරුණු සටන් පැවති බවයි.
හූති කැරලිකරුවන් සතුව ස්නයිපර් අවි, කාලතුවක්කු සහ බැලස්ටික් මිසයිල විදින පද්ධති පවතින බව ද ඔහු සඳහන් කර තිබේ. හූති ඩ්‍රෝන යානයක සුන්බුන් බව පැවසෙන ෆයිබර්ග්ලාස් සහ ලෝහ කොටස් ද එම ප්‍රදේශයේදී දැකගත හැකි විය.
එම ඩ්‍රෝන යානයේ C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව අල්-හබූන් ප්‍රකාශ කළේය. ලෝක තෙල් සැපයුමටත් බලපෑම් එල්ල වීමේ අවදානමක් යේමනයේ ගැටුම හුදෙක් එරටට සීමා වූ සිවිල් යුද්ධයක් නොවේ. එය ඉරානය සහ සෞදි අරාබිය අතර පවතින කලාපීය බල අරගලය සමඟ ද සම්බන්ධ වී තිබේ.
ජාත්‍යන්තර නාවික ගමනාගමනයට සහ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රදේශවල පාලනය මෙම ගැටුමේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.
රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන මෙම පටු මුහුදු මාර්ගය ලෝක වෙළෙඳාමට සහ බලශක්ති ප්‍රවාහනයට වැදගත් වේ.
එම ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජන එල්ල වුවහොත් ජාත්‍යන්තර තෙල් සැපයුමට සහ මිල ගණන්වලට බලපෑම් ඇතිවිය හැකිය.
අල්-හබූන්ගේ ප්‍රකාශයට අනුව, එම මුහුදු මාර්ගය නිරීක්ෂණය කළ හැකි උස් භූමි ප්‍රදේශවල හූති සටන්කරුවන් 500ක් පමණ තවදුරටත් රැඳී සිටිති.
රජයට සහාය දක්වන හමුදා විසින් අදාළ ප්‍රදේශයෙන් සියයට 85ක් පමණ යළි අත්පත් කරගෙන ඇති බව ද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, එම ප්‍රකාශය ස්වාධීනව තහවුරු කර නොමැත.
වාර්තාකාරිනිය එම ප්‍රදේශයට ගිය දිනයේදී ද දරුණු ගැටුම් ඇති වූ බව පසුව වාර්තා වී තිබේ.
හූති කැරලිකරුවන් විසින් අටවන ලදැයි කියන පුපුරණ ද්‍රව්‍යවලට හමුදා වාහන පහක් ගොදුරු වී ඇති බව සඳහන් වුවද, ඉන් සිදුවූ මරණ හා තුවාල පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
සටන් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් සටන් උත්සන්න වීමත් සමඟ යේමනයේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන මානුෂීය අර්බුදය ද තීව්ර වී තිබේ.
ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ දත්ත අනුව, සැප්තැම්බර් මස මුලදී ආරම්භ වූ නව ගැටුම් උත්සන්න වීමෙන් පසු පුද්ගලයන් 200,000ක් පමණ සිය නිවාස අතහැර පලාගොස් තිබේ.
අරාබි ලෝකයේ දුප්පත්ම රට ලෙස සැලකෙන යේමනයේ මෙම තත්ත්වය ආහාර, ජලය සහ ආරක්ෂිත නවාතැන් සොයාගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත.
කහබූබ් කඳුකර ප්‍රදේශයේ සිට පලා ආ අයිෂා නමැති වයෝවෘද්ධ කාන්තාව බීබීසීයට පවසා ඇත්තේ තමන් දින 30ක් පුරා එම ප්‍රදේශයේ රැඳී සිටින බවයි.
නිවාස අතහැර පැමිණීමේදී රැගෙන ඒමට හැකි වූයේ ඇඳ සිටි ඇඳුම් පමණක් බවත්, තමන් සතුව මුදල්, ජලය, ආහාර හෝ පොරෝනාවක් හෝ නොමැති බවත් ඇය සඳහන් කර තිබේ.
ඇය පලා ආ ප්‍රදේශය හූති ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වූ ප්‍රදේශයක් බව ද වාර්තාවේ දැක්වේ.
රෝහල්වලට තුවාල ලැබූවන්ගෙන් පිරී යයි යේමනයේ ඒඩන් වරාය නගරයේ රෝහල්වලට ද සටන්වල බලපෑම දැඩි ලෙස දැනෙමින් තිබේ.
ඉදිරි පෙළ සටන්වලදී තුවාල ලබන රජයට සහාය දක්වන හමුදා සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් දිවා රෑ වෙහෙසෙන බව ජත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එක් හමුදා රෝහලකට එක් දිනක් තුළ තුවාල ලැබූවන් 51 දෙනකු ඇතුළත් කර තිබූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනකු වෙඩි වැදී තුවාල ලැබූ අය බව සඳහන් වේ.
ඇතැම් පුද්ගලයන්ගේ අත් පා ඉවත් කිරීමට ද සිදුව තිබේ. එම රෝහලේදී හූති සටන්කරුවකුට ද අනෙක් පාර්ශ්වයේ සටන්කරුවන් සමඟ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබාදෙන අයුරු දැකගත හැකි විය.
වෛද්‍ය බසාම් හසාර් පවසන්නේ රෝගියා පැමිණෙන පාර්ශ්වය, පසුබිම හෝ ආගම නොසලකා සියලු දෙනාටම මනුෂ්‍යයන් ලෙස සලකා ප්‍රතිකාර කරන බවයි.
ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මෙම යුද්ධයේ බිහිසුණු බව තවත් පැහැදිලි කරන සිදුවීමක් වන්නේ ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ 12 හැවිරිදි අලී නමැති දරුවාගේ සිද්ධියයි.
වීදියක ගමන් කරමින් සිටියදී ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයේ කැබලි රැඳී ඇති බව වෛද්‍යවරු පවසති.
ඔහුට සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.
දරුවා මුලදී දැඩි මානසික පීඩාවකට පත්ව සිටිය ද, සෙල්ලම් බඩු ලබාදීමෙන් පසු ඔහුගේ මානසික තත්ත්වය ක්‍රමයෙන් යහපත් වූ බව වෛද්‍ය අම්ර් රියාද් අසකෆ් සඳහන් කර තිබේ.
යුද්ධය අවසන් වන ලකුණු තවමත් පැහැදිලි නැහැ 2022 වසරේ ඇතිකරගත් සටන් විරාමය හේතුවෙන් යේමනයේ වසර කිහිපයක් සාපේක්ෂ සාමකාමී තත්ත්වයක් පැවතිය ද, මේ වන විට හූති කැරලිකරුවන් තවදුරටත් ප්‍රබල තර්ජනයක් බවට පත්ව සිටින බව වාර්තාව පෙන්වා දෙයි.
යේමනයේ ජනගහනයෙන් වැඩි කොටසක් පාලනය කරන්නේ ද හූති කැරලිකරුවන්ය. යළිත් සාම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ යම් කතාබහක් පැවතිය ද, ගැටුම අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම පහසු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, ඒඩන් රෝහලේ වෛද්‍ය බසාම් හසාර් පවසන්නේ යුද්ධය ඇතැම් විට ප්‍රවෘත්තිවලට මාතෘකාවක් වුවද, එය සාමාන්‍ය ජනතාවට ගෙන එන්නේ දැඩි වේදනාවක් බවයි. පියවරුන් අහිමි වන දරුවන් සහ දරුවන් අහිමි වන මව්වරුන් පිළිබඳ සඳහන් කළ ඔහු අවධාරණය කර ඇත්තේ යේමනයට අවශ්‍ය වන්නේ තවත් යුද්ධයක් නොව සාමය බවයි.