ඖෂධ කර්මාන්ත ශාලාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - රුසියානු ප්‍රහාරයෙන් යුක්රේනය කැළඹෙයි

By Malith Madushan Oct 04, 2026 09:58 AM GMT
Report

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ සුමි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සම්භවයක් සහිත Kusum සමූහයට අයත් දැවැන්ත ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් විනාශ වී ඇති අතර, එම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, එහි විශාල කොටසක් විනාශ වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයෙන් විශාල දුම් වලාකුළක් නැඟෙන ආකාරය දැක්වෙන දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු ප්‍රහාරය හෙළා දැක ඇති අතර, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පළ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ එදින උදෑසන Kyivහි Pivnichnyi පාලමටද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, Dnipro ප්‍රදේශයේ සන්නිවේදන පහසුකමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

''පෙට්‍රල් සහ ඩීසල් අනාගතයේදී එපා වෙයිද?'' - 2035දී විදුලි වාහනවලට ඉහළ ඉල්ලුමක්

''පෙට්‍රල් සහ ඩීසල් අනාගතයේදී එපා වෙයිද?'' - 2035දී විදුලි වාහනවලට ඉහළ ඉල්ලුමක්

ඉන්දීය සම්භවයක් සහිත සමාගමක්

Kusum සමූහය 1994 වසරේදී යුක්රේනයට ඉන්දීය ඖෂධ අපනයනය කළ බෙදාහැරීමේ සමාගමක් ලෙස සිය කටයුතු ආරම්භ කර තිබේ. වර්තමානයේ එම සමාගම ඉන්දීය ජාතිකයෙකු වන Rajeev Gupta විසින් මෙහෙයවනු ලබයි.

2002 වසරේදී වෙනත් සමාගම්වල නිෂ්පාදන බෙදාහැරීම නතර කර, තමන්ගේම සන්නාම යටතේ ඖෂධ අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර, පසුව ඖෂධ නිෂ්පාදනයටද යොමුවී තිබේ.

එම සමාගම 2007 වසරේදී ඉන්දියාවේද, 2009 වසරේදී යුක්රේනයේ සුමි නගරයේද නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කර තිබේ. පසුව ඉන්දියාවේ තවත් නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකක්ද ස්ථාපිත කර ඇත.

Kusum සමූහය ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ඖෂධ වර්ග 50කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, යුක්රේනය, උස්බෙකිස්තානය, කසකස්තානය සහ පිලිපීනය ඇතුළු රටවල් නවයකට වැඩි සංඛ්‍යාවකට ඒවා අලෙවි කරයි.

යුක්රේන-රුසියා යුද්ධය පැවැති කාලය පුරාම සුමිහි පිහිටි එම කර්මාන්ත ශාලාව සිය මෙහෙයුම් පවත්වාගෙන ගොස් ඇති නමුත්, මෙවර ප්‍රහාරයෙන් එයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. කර්මාන්ත ශාලාවට සිදුව ඇති හානිය අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 400ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

Kusum සමූහය තමන්ව හඳුන්වා දෙන්නේ ඉන්දීය සම්භවයක් සහිත යුක්රේන සමාගමක් ලෙසය.

යුක්රේනයේ ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව

මේ අතර, ගිම්හාන කාලයේ සිට රුසියාව යුක්රේනයට දිනපතා Shahed වර්ගයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන දහස් ගණනක් නොව, දස ගණනක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

එම ඩ්‍රෝන සාපේක්ෂව වේගවත් සහ අඩු වියදම් සහිත ඒවා වන බැවින් ඒවාට එරෙහිව කටයුතු කිරීම යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට අභියෝගයක් වී තිබේ.

මේ අතර, යුක්රේනය තමන් විසින් නිෂ්පාදනය කළ FP-7 බැලස්ටික් මිසයිලය පළමු වරට සටන් මෙහෙයුමකදී භාවිත කළ බවද මෙම සතියේ නිවේදනය කර තිබේ. එම මිසයිලයට කිලෝමීටර් 250ක පමණ දුරක් ආවරණය කළ හැකි බව වාර්තා වේ.

“මම වරක් දොර විවෘත කරන්න උත්සාහ කළා” - ඊශ්‍රායලයට ගිය ගුවන් යානයේ ත්‍රාසජනක තොරතුරු එළියට

“මම වරක් දොර විවෘත කරන්න උත්සාහ කළා” - ඊශ්‍රායලයට ගිය ගුවන් යානයේ ත්‍රාසජනක තොරතුරු එළියට