“මම වරක් දොර විවෘත කරන්න උත්සාහ කළා” - ඊශ්‍රායලයට ගිය ගුවන් යානයේ ත්‍රාසජනක තොරතුරු එළියට

Report

ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ flydubai ගුවන් යානයකදී සිය සහ නියමුවාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ කපිතාන් Smit Machchhar, සිදුවීම සිදුවූ ආකාරය පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සංවාදයකදී විස්තර කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ගුවන් ගමන ආරම්භයේදී සියල්ල සාමාන්‍ය පරිදි සිදුවූ බවත්, සහ නියමුවා යාච්ඤා කරමින් සිටි බැවින් තමා කොක්පිට්ටුවේ ඉදිරිපස දෙස බලා සිටි බවත්ය. යාච්ඤා කිරීම ආරම්භ කර මිනිත්තු 4-5කට පමණ පසු තම හිස පිටුපසට දැඩි පහරක් එල්ල වූ බව Machchhar පවසා තිබේ.

මුලින්ම ඔහු සිතා ඇත්තේ ගුවන් යානයට විශාල හානියක් සිදුවී ඇති බවයි. එහෙත් පහර කිහිපයක් එකින් එක එල්ල වීමත් සමඟ එය ගුවන් යානයේ ඇති වූ ගැටලුවක් නොව, තමන් සමඟ කොක්පිට්ටුවේ සිටි පුද්ගලයාගේ ප්‍රහාරයක් බව ඔහුට වැටහී තිබේ.

ප්‍රහාර හේතුවෙන් තම දෘෂ්ටිය බොඳවී ගිය බවත්, ඒ අතරතුර ගුවන් යානය වේගයෙන් පහළට ඇද වැටෙමින් තිබූ බව තමාට දැනුණු බවත් ඔහු සඳහන් කර ඇත. “මම වරක් දොර විවෘත කිරීමට උත්සාහ කළා. නමුත් ඔහු එය නැවත වසා දැමූ බව මම සිතනවා. ඒ අවස්ථාවේ මම කොක්පිට්ටුවේ බිම වැතිර සිටියා. ගුවන් යානයෙන් ඇති වූ ශබ්දයත්, මිනිසුන් කෑගසන හඬත් මට ඇසුණා,” යනුවෙන් ඔහු සිදුවීම සිහිපත් කර තිබේ.

එම අවස්ථාවේ තමන්ට ගුවන් යානය තවදුරටත් පහළට යාම වැළැක්වීමට අවසන් අවස්ථාවක් ඇති බව හැඟුණු බවද Machchhar පවසා ඇත.

තමා තුළ ඉතිරිව තිබූ අවසන් ශක්තිය යොදාගෙන නැවත කොක්පිට් දොර වෙත ගොස් එය විවෘත කළ බවත්, ඒ අවස්ථාවේ ගුවන් යානයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ ප්‍රහාරකයා පාලනය කර ගත් බවත් ඔහු සඳහන් කර තිබේ.

“මම එය කළේ මගේ ජීවිතය බේරාගැනීමට පමණක් නොවෙයි. මම එසේ නොකළා නම් මම මිය යන බව දැන සිටියා,” යනුවෙන් ඔහු පවසා ඇත.

සිදුවීම සිදුවූ flydubai ගුවන් යානය FZ1073 දරන flydubai ගුවන් යානය පසුගිය බදාදා ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් සිටියදී හදිසි සංඥා නිකුත් කර ඇති අතර, අඩි 34,000ක පමණ උසකින් පියාසර කරමින් තිබූ යානය අඩි 17,000කට වැඩි ප්‍රමාණයකින් වේගයෙන් පහළට බැස තිබේ.

යානයේ මගීන් 174 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් අතර ළමුන් 27 දෙනෙකුද සිට ඇත. පසුව Boeing 737-8 වර්ගයේ එම ගුවන් යානය සෞදි අරාබියේ Tabukහි Prince Sultan Bin Abdel Aziz ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.

“ඔබත් OpenAI භාවිතා කරනවද?” - ආරක්ෂාව ගැන ගැටලුවකින් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි

“ඔබත් OpenAI භාවිතා කරනවද?” - ආරක්ෂාව ගැන ගැටලුවකින් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල Machchhar රුධිරයෙන් වැසී, ඔක්සිජන් ආවරණයක් පැළඳ ගුවන් යානයේ ගැලරි ප්‍රදේශයේ වැතිර සිටින ආකාරය දක්නට ලැබී තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසා ඇත්තේ ඊශ්‍රායල මගියෙකු තමන්ට පැවසූ පරිදි යානය කැරකෙමින් පහළට ඇද වැටුණු බවයි.

එම අවස්ථාවේ මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොක්පිට්ටුවට ඇතුළු වී, යානයේ පාලන පද්ධතියට බලපෑම් කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයා පාලනය කරගෙන ඇති බවද නෙතන්යාහු සඳහන් කර තිබේ.

නියමුවාගේ පසුබිම සිදුවීමේදී බරපතළ තුවාල ලැබූ Machchhar මේ වන විට රෝහලක ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටී.

ඔහු වසර හතරකට වැඩි කාලයක් flydubai ආයතනයේ නියමුවෙකු ලෙස සේවය කර ඇති අතර, වාණිජ ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 13කට වැඩි පළපුරුද්දක් ඔහු සතුය.

ඔහු ගුවන් ගමන් පැය 9,500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති අතර, 2022 ජුනි මාසයේදී flydubai සමඟ එක්වීමට පෙර SpiceJet ගුවන් සේවයේ දශකයකට වැඩි කාලයක් සේවය කර තිබේ.

ඔහු SpiceJet ආයතනයේ Line Training Captain ලෙසද කටයුතු කර ඇති අතර, ඔහුගේ සහෝදරයාද flydubai ගුවන් නියමුවෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ. මුම්බායිහි Ghatkopar ප්‍රදේශයේ උපන් Machchhar, සිදුවීමෙන් අනතුරුව මිතුරන්, හිටපු සගයන් සහ අසල්වැසියන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

සහ නියමුවා පිළිබඳ තොරතුරු මාධ්‍ය වාර්තා අනුව ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සහ නියමුවා Omani ජාතික Hamam al-Hammami ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කර නොමැත.

වාර්තා අනුව, ඔහු ගුවන් යානයේ කොක්පිට්ටුවේ තිබූ හදිසි අවස්ථා සඳහා භාවිත කරන crash axe එකකින් Machchhar වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රහාරයට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෙනසුරාදා ප්‍රකාශ කළේ විමර්ශනවලින් සහ නියමුවා “ත්‍රස්ත ක්‍රියාවක්” සිදු කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වූ බවයි.

එරට නීතිපති Hamad Saif Al Shamsi පවසා ඇත්තේ සහ නියමුවා crash axe එකකින් කපිතාන්වරයාට ප්‍රහාර එල්ල කර ගුවන් යානයේ පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇති බවයි.

සිද්ධියේ සම්පූර්ණ පසුබිම, ප්‍රහාරයේ අරමුණ සහ වෙනත් සම්බන්ධතා පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද ඔහු සඳහන් කර ඇත. CNN වාර්තා අනුව al-Hammami එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපත ලබා ඇති අතර ඔහුගේ පියා Omani ජාතිකයෙකු වන අතර මව Syrian ජාතික කාන්තාවකි.

ගුවන් නියමු පුහුණුවෙන් ඔහු ඉවත් කර තිබුණේ ඔහුගේ ඇතැයි කියන අන්තවාදී අදහස් සම්බන්ධයෙන් ඇති වූ කනස්සල්ලක් හේතුවෙන් බවද වාර්තා වේ.

මාධ්‍ය වාර්තා අනුව ඔහු 2023දී Buckinghamshire New University වෙතින් Aviation Management සම්බන්ධ තෙවසරක දුරස්ථ අධ්‍යයන පාඨමාලාවක් සම්පූර්ණ කර තිබේ.

කෙසේ වෙතත්, එම විශ්වවිද්‍යාලය පවසා ඇත්තේ ඔහු එහිදී නියමු පුහුණුව ලබා නොමැති බවයි. මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිකුරාදා Machchhar සමඟ දුරකථන සංවාදයක නිරත වී ඔහුගේ ධෛර්යය අගය කර තිබේ.

බරපතළ තුවාල ලබා සිටියද අනෙක් මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහු දැක්වූ “අතිමහත් ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානය” පිළිබඳව මෝදි ප්‍රශංසා කර ඇත.

දරුණු භූමිකම්පාවක් - ඉන්දුනීසියාව හොල්ලමින් ප්‍රබල භුකම්පනයක් - සුනාමි අවදානමක්ද?

දරුණු භූමිකම්පාවක් - ඉන්දුනීසියාව හොල්ලමින් ප්‍රබල භුකම්පනයක් - සුනාමි අවදානමක්ද?