විද්‍යුත් තිර බලද්දී මොළයේ ඩෝපමින් වලට වෙන දේ ගැන භයානක වෛද්‍ය හෙළිදරව්වක්
විනෝදාස්වාදය සඳහා ස්මාර්ට් දුරකථන භාවිතයට අධික ලෙස ඇබ්බැහි වන පුද්ගලයන් ක්‍රමයෙන් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි.
විශේෂයෙන්ම පාසල් දරුවන් ස්මාර්ට් දුරකථන භාවිතයේදී විනයක් සහ සීමාවක් ඇතිව කටයුතු කිරීමට දෙමාපියන් විසින් ඔවුන් දැනුවත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා මේ බව පැවසුවේ අද (22) “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. විද්‍යුත් තිර නිරන්තරයෙන් භාවිත කිරීමේදී මිනිස් මොළයේ ඩොපමීන් රසායනය අසාමාන්‍ය ලෙස ස්‍රාවය වන බවත්, එය මත්ද්‍රව්‍ය භාවිතයේදී සිදුවන ක්‍රියාවලියට සමාන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එම තත්ත්වය මිනිස් ශරීරයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සැබෑ විනෝදයක් නොලැබෙන බවත්, එය මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාල විසින් සමාජගත කර ඇති වැරදි මතයක් බවත් වෛද්‍යවරයා පැවසීය.
පවුල් පරිසරය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සිටී නම්, එය එම පවුලේ දරුවන්ගේ මානසික තත්ත්වයට සෘජු බලපෑම් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
කුඩා වියේදී දරුවන් ලබන අත්දැකීම් සහ ඔවුන්ගේ මානසික තත්ත්වයන් වැඩිවියට පත්වීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට බලපෑ හැකි බවත්, ජානමය සාධක මතද ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
එබැවින් දරුවන් සඳහා නිවස තුළ යහපත් පරිසරයක් ගොඩනැගීමත්, ඔවුන්ට ආදරය සහ රැකවරණය ලබාදීමත් දෙමාපියන්ගේ වගකීමක් බවද වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.