මුල් මාස 6 තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි - 2025 වාර්තාවත් බිද දමයි
2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ඒ අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 8ක වර්ධනයක් පෙන්නුම් කරයි.
එම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,073.31ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 8.95ක ඉහළ යාමකි. සේවා අපනයන ආදායම ද සියයට 4.49ක වර්ධනයක් වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,938.94ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2026 ජූනි මාසයේදී පමණක් සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,658.62ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53ක වර්ධනයකි.
ඉන් භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,314.10ක් උපයා ඇති අතර, එය සියයට 15.09ක වර්ධනයක් ලෙස දැක්වේ.
සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344.52ක ආදායමක් උපයා ඇති අතර, එය සියයට 3.75ක වර්ධනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම් වැනි දැනුම මත පදනම් වූ සේවා කර්මාන්ත, අපනයන ආදායම විවිධාංගීකරණය කිරීම සහ විදේශ විනිමය ඉපැයීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවද සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ පවතින විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ තරගකාරීත්වය මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වූ බවයි.
එමෙන්ම, 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාත්මක කරමින් නවෝත්පාදන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සහ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.