මධ්‍යම පළාතේ මේ පාසල්වලට සුබ ආරංචියක් - විශේෂ සාකච්ඡාවකින් සියලුම ගැටලුවලට විසඳුම්
මධ්‍යම පළාතේ වතු පාසල්වල අධ්‍යාපන තත්ත්වය සහ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදීයි.
එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, ධනුර දිසානායක යන මහත්ම මහත්මීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.
එම හමුවේදී දීර්ඝ වේලාවක් තිස්සේ පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සුහදශීලී විසඳුම්වලට එළඹ ඇති බව වාර්තා වේ.
ස්වභාවික ආපදා හා යටිතල පහසුකම්: ආපදාවලින් පීඩාවට පත් වෙවන්ඩන්, එල්ජින් සහ යෝක්ස්ෆෝඩ් යන වතු පාසල්වල වත්මන් තත්ත්වය.
ගුරු හිඟය සහ පත්වීම්: මධ්‍යම පළාත් උපාධිධාරී පත්වීම්, ගුරු උපදේශක හිඟය සහ වැඩබලන විදුහල්පතිවරුන්ගේ ශ්‍රේණි උසස් කිරීම්.
අධීක්ෂණ කටයුතු: පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් විසින් වතු පාසල් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදය.
පෙරපාසල් අධ්‍යාපනය: වතු පාසල්වල පෙරපාසල් අවශ්‍යතාවය, ඒවායේ කළමනාකරණය සහ විශේෂ අවශ්‍යතා.
1AB පාසල් සංවර්ධනය: නුවරඑළිය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල සියලු පහසුකම් සහිත 1AB ශ්‍රේණියේ පාසල් ඇති කිරීම.
වෙනත් කරුණු: 13 වසරක අධ්‍යාපන සහතිකය, ක්‍රීඩා ක්ෂේත්‍රය, ගුරු නිවාස පහසුකම්, වතු පාසල් සඳහා ඉඩම් සහ ප්‍රතිපාදන වෙන් කිරීම සහ ගුරු මාරුවීම්.
විශේෂ ව්‍යාපෘති සහ ප්‍රගතිය:
එමෙන්ම ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරෙන ස්මාර්ට් පන්තිකාමර (Smart Classrooms) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඊට අමතරව මාතලේ පාක්‍යම් විද්‍යාලයේ ඉදිවන ගොඩනැගිලිවල ප්‍රමාදයන් සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දී තිබෙන බව වාර්තා විය.
එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදේශක සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විධායක සභික ආචාර්ය පී.පී. සිවප්‍රකාසම් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා ද එක්ව සිටි බව සඳහන්.