ඩයනාගේ නඩුව කල් යයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 16 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පසුගිය 26 වැනිදා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති මෙම නඩුවේ එක් චෝදනාවක සාක්ෂි විමසීම එදින සිදු කිරීමට නියම වී තිබුණද, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට සිදුවිය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා හතක් ගොනු කර ඇති අතර, මීට පෙර චෝදනා කියවා දුන් අවස්ථාවේදී ඇය තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.
ප්‍රධාන චෝදනා කිහිපයක් ;
- 2014 ජනවාරි 20 වන දින බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම
- 2016 ජූලි සිට 2017 ජූලි දක්වා
- 2018 ජූලි සිට 2019 ජූලි දක්වා
- 2020 ජූලි සිට නොවැම්බර් දක්වා
මෙම කාල සීමාවන් තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට සිහිපත් කළේ, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බවයි.
දැනට ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරිය නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය. ඊළඟ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියම කර ඇත.