පාතාල උණුසුම මැද රටම බලා සිටි දෙවුන්දර දේවාල පෙරහරට විශේෂ ආරක්ෂාවක් - පොලිස් නිලධාරීන් 500ක් එක්ක යුද හමුදාවත් එයි
මාතර, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇතිවී ඇති බව පවසන මත ගැටුම වෙඩි තැබීමක් දක්වා මේ වනවිට දුරදිග ගොස් ඇත.
එයට ආසන්නම හේතුව, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු ඉකුත් 21 දින රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමයි. දෙහිබාලේ මල්ලි සහ කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුවන් මෙම ගැටුම පිටුපස සිටින බවට පොලිසිය සැකපළ කරයි.
එසේම දැනට ලැබී ඇති තොරතුරු අනුව 21 වන දින සිදුකළ වෙඩිතැබීම දෙහිබාලේ මල්ලි නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙහෙයවා ඇති බව සඳහන්.
දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනි දින කිසිවකු විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ වන තිළිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර ඇති බව වාර්තා විය.
මෙම තර්ජනය කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන 'KPI' යන අන්වර්ථ නාමය භාවිත කරමින් සිදුකර ඇති බව සඳහන්. එමෙන්ම ඊට ප්‍රතිචාර ලෙස දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව සඳහන්.
අඳාළ හඬපටයට කංජිපානි ඉම්රාන් බවට පවසමින් ප්‍රතිචාර දක්වා තිබූ හඬපටයක් මෙන්ම, ඊට දෙහිබාලේ මල්ලි බව කියන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය වෙත මේ වනවිට නිකුත්කර ඇත.
තත්ත්වය එසේ තිබියදී 21 වන දින රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා තිබූ අතර එම වෙඩිතැබීම අසල වූ සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණා.
එමෙන්ම වෙඩිතැබීමෙන් පසුවද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින් තවත් හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.
ඒ අනුව අද (23) ඇරඹෙන දෙවුන්දර දේවාලයේ පෙරහරට ආරක්ෂාව ඉල්ලමින් සහ තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව දෙවුන්දර දේවාලයේ මෙන්ම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් කටයුතු කරන තිළින මධුසංඛ විසින් මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව සඳහන්.
එවැනි පසුබිමක දෙවුන්දර දේවාලයේ පෙරහර මංගල්‍යය හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර කළ වීමසීමකදී මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත්තේ පෙරහරේ ආරක්ෂාවෙන් සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවයි.
එසේම ලබන 29 වැනි දින පැවැත්වීමට නියමිත දෙවුන්දර දේවාලයේ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය ඊට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.