මෙට්‍රෝ දුම්රිය ස්ථාන 57කට සීමා කරයි - විරෝධතාවක් දිල්ලි නුවර ආරක්ෂාව තර කරයි

Report

ඉන්දීය අගනුවර වන දිල්ලි නුවර හෙට (10) පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, මෙට්‍රෝ දුම්රිය ස්ථාන 57ක සේවා සීමා කිරීමටත්, දුම්රිය කිහිපයක් අවලංගු කිරීමටත් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Cockroach Janta Party (CJP) විසින් නවදිල්ලියේ ජන්තර මන්තර ප්‍රදේශයේ මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරමින්.

විරෝධතාවට පොලිස් අවසරය නැහැ

මෙම විරෝධතාව සඳහා අවසර ලබාදීම දිල්ලි පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය දින 10ක පූර්ව දැනුම්දීම ලබාදී නොතිබීම ඊට හේතුව ලෙස පොලිසිය සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

මීට පෙර පැවති විරෝධතාවකදී නියමයන් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා සහ මහජන ආරක්ෂාව සම්බන්ධ කරුණු ද අවසරය ප්‍රතික්ෂේප කිරීමට හේතු වී තිබෙනවා.

මධ්‍යම දිල්ලියේ ඇතැම් ප්‍රදේශවල ඉන්දීය නීතියේ 163 වැනි වගන්තිය යටතේ සීමා පනවා ඇති අතර, එම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.

සම්භාව්‍ය සාහිත්‍යය නූතනයට ගෙන ආ ලේඛිකාවට ලෝකයේ ඉහළම සාහිත්‍ය බුහුමන

සම්භාව්‍ය සාහිත්‍යය නූතනයට ගෙන ආ ලේඛිකාවට ලෝකයේ ඉහළම සාහිත්‍ය බුහුමන

මෙට්‍රෝ දුම්රිය ස්ථාන 57කට සීමා

විරෝධතාව හේතුවෙන් දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන 57ක ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු සිකුරාදා (09) රාත්‍රී 9 සිට වසා දැමීමට නියමිත බව සඳහන්. එම ස්ථාන හරහා ධාවනය වන ඇතැම් මෙට්‍රෝ දුම්රියවල ගමන් වාර සංඛ්‍යාව ද අඩු කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

සීමා පනවා ඇති ප්‍රධාන දුම්රිය ස්ථාන අතර රාජීව් චෝක්, සෙන්ට්‍රල් සෙකට්‍රේරියට්, නවදිල්ලිය, පටෙල් චෝක්, ජනපත්, මන්දි හවුස්, බරකාම්බා පාර, ITO, දිල්ලි ගේට්, ඛාන් මාර්කට්, කාශ්මීර් ගේට්, හවුස් ඛාස් සහ ලජ්පත් නගර් යන ස්ථාන ද ඇතුළත්.

මේ හේතුවෙන් දෛනිකව මෙට්‍රෝ දුම්රිය භාවිත කරන මගීන්ට ගමනාගමන බාධා ඇති විය හැකි බැවින්, ගමන් ආරම්භ කිරීමට පෙර නවතම සේවා තොරතුරු පරීක්ෂා කරන ලෙස මගීන්ට උපදෙස් දී තිබෙනවා.

දුම්රිය කිහිපයක් අවලංගු කරයි

විරෝධතාවට පෙර ආරක්ෂක පියවරක් ලෙස නවදිල්ලිය සහ හස්රත් නිසාමුදීන් දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.

මෙම අවලංගු කිරීම් හෙට (10) පෙරවරු 4 සිට පස්වරු 2 දක්වා එම දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිතව තිබූ දුම්රියවලට අදාළ බව සඳහන්.

අදාළ දුම්රිය ඒවායේ ආරම්භක දුම්රිය ස්ථානවලින්ම අවලංගු කර ඇති බව වාර්තා වෙනවා. එබැවින් දුම්රිය මගීන් ගමන් ආරම්භ කිරීමට පෙර තම දුම්රියේ තත්ත්වය තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

ආරක්ෂාවට නිලධාරීන් 23,000ක්

මේ අතර, විරෝධතාව වෙනුවෙන් දිල්ලි නුවරට මධ්‍යම සන්නද්ධ පොලිස් බලකායේ (CAPF) නිලධාරීන් 23,000ක් පමණ යෙදවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඔක්තෝබර් 8 සිට 12 දක්වා කාලය තුළ CAPF කණ්ඩායම් 221ක් යෙදවීමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඊට අමතරව දිල්ලි පොලිසිය වෙත තවත් CAPF කණ්ඩායම් 110ක් ලබාදී ඇති බව සඳහන්.

ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ බහු-ස්ථර මාර්ග බාධක යොදවා, CCTV කැමරා ඔස්සේ පාලන මැදිරියෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, මුහුණු හඳුනාගැනීමේ කැමරා ද දිල්ලි නුවර පුරා ස්ථාපිත කිරීමට නියමිත බව බලධාරීන් පවසා තිබෙනවා. විරෝධතාව පැවැත්වෙන කාලය තුළ අවධානයෙන් සිටින ලෙස උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ඇතුළු අසල්වැසි ප්‍රාන්තවලට ද දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ අතුරු මැතිවරණ ප්‍රතිඵල අද - විජේගේ ජනප්‍රියත්වය තීරණාත්මක පරීක්ෂණයක්

ඉන්දියාවේ අතුරු මැතිවරණ ප්‍රතිඵල අද - විජේගේ ජනප්‍රියත්වය තීරණාත්මක පරීක්ෂණයක්