දෙහිවල වෙඩි තැබීම - යතුරුපැදිය පැදවූ සැකකරු අත්අඩංගුවට
දෙහිවල දුම්රියපොළ පාර අසල සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙම සැකකරු වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය පදවාගෙන ආ පැදිකරු වන අතර, ඔහුගෙන් සන්තකයේ තිබූ කඩු පහක්, කිනිස්සක් සහ රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පොලිසිය භාර ගෙන ඇත.
ඉකුත් ජූලි 17 වැනිදා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන සිටි බස් අසිත නැමැත්තා (බඩෝවිට අසංකගේ සමීප ඥාතියෙකු) සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට මෝටර් රථයක සිටියදී වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙම සිද්ධියේ වෙඩික්කරු වූ හිටපු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු කහතුඩුව පොලිස් වසමේ පාලාගම ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාව සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්විය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ, බස් අසිත ඝාතනය සඳහා සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන සිටි 'කොස් මල්ලි' නැමැත්තා විසින් රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක් ලබා දුන් බවයි. එම මුදලින් රුපියල් තුන් ලක්ෂ 50,000ක් එකවර ඔහුගේ ගිණුමට බැර කළ අතර, ඉතිරි මුදල් වරින් වර ලබා දුන් බව සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.
සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී සඟවා තිබූ කඩු පහක් සහ කිනිස්සක් සොයාගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ බඩෝවිට අසංකගේ සමීපතමයෙකු වන බොරලැස්ගමුවේ දිනුක නැමැත්තා ආයුධවලින් කපා ඝාතනය කිරීම සඳහාද 'කොස් මල්ලි' විසින් ආයුධ සැපයූ බවයි.
එසේම, දෙහිවල වෙඩි තැබීමෙන් පසු සැකකරු පදිංචි නිවස අත්හැර දමා දකුණු පළාතේ විවිධ ස්ථානවල සැඟව සිටි බවද හෙළිව ඇත.