ලයිසන් අලුත් නොකළ තුවක්කු හිමියන් 7,000කට එරෙහිව නඩු
ගිනි අවි බලපත්‍රය 2024 දෙසැම්බර් 31 වැනිදාට පෙර අලුත් කර නොගත් හිමියන් 7,125කට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ 2024 විගණන වාර්තාවේ හෙළි වී ඇත්තේ, බලපත්‍ර කල් ඉකුත් වූ පුද්ගලයන් ගිනි අවි ආඥා පනතේ 29(1) වගන්තිය යටතේ නියමිත කාලය තුළදී (කල් ඉකුත් වී දින 10ක් ඇතුළත) තුවක්කු සහ බලපත්‍රය බලධාරීන්ට භාරදීමට අපොහොසත් වී ඇති බවයි.
මේ පිළිබඳව පොලිස්පතිවරයා විසින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ට නඩු පවරන ලෙස උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
එමෙන්ම ගිනි අවි දත්ත කළමනාකරණය සඳහා නව තොරතුරු තාක්ෂණ පද්ධතියක් (Digital Firearms Management System) කඩිනම් ක්‍රියාත්මක කිරීම දැනට ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
විගණනයේදී තවත් බරපතල සොයාගැනීමක් වූයේ, 1995 සිට 2024 දක්වා බෝග හා දේපළ ආරක්ෂාව උදෙසා නිකුත් කළ ගිනි අවි බලපත්‍ර 25,064ක් ලෙස වාර්තා වුවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තිබූ ලේඛනවලට අනුව බලපත්‍ර සංඛ්‍යාව 12,981ක් පමණක් වීමයි. මෙයින් බලපත්‍ර 12,083කට ආසන්න විෂමතාවක් පෙන්වයි.
මෙම දත්ත අනිසිකම් නිවැරදි කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සම්පූර්ණ දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක බව ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා දන්වා තිබේ.
ගිනි අවි පාලනය තර කිරීමට ගෙන එන මෙම පියවරත් සමඟ රටේ ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.