පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ආපස්සට..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 2026 වර්ෂයේ සිට පාසල් වේලාව පෙ.ව. 7.30 සිට ප.ව. 2.00 දක්වා දීර්ඝ කිරීමේ තීරණය රටේ උද්ගත වූ ආපදා තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කල් දමා ඇත.
අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන ලද්දේ, මෑතකදී රටේ පළාත් කිහිපයක ආපදා හේතුවෙන් පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව, 2026 වර්ෂය තුළ පාසල් පැවැත්වෙන වේලාව පෙර පරිදිම පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
මීට පෙර 2025 ඔක්තෝබර් 22 දිනැති චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, කලාප සහ කොට්ඨාස අධ්‍යක්ෂවරුන් මෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ පාසල් වේලාව දීර්ඝ කිරීම දන්වා තිබුණි. එහිදී පෙන්වා දී තිබුණේ නව පාසල් වේලාව පෙ.ව. 7.30 සිට ප.ව. 2.00 දක්වා වන බවයි.
කෙසේ නමුත්, ආපදා හේතුවෙන් පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙම වෙනස්කම් කල් දැමීමට අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම තීරණය සම්බන්ධයෙන් සවිස්තර චක්‍රලේඛය ඊයේ (01) දින නිකුත් කිරීමට නියමිත බවද නිවේදනයේ සඳහන් වේ.
මෙම තීරණය මගින් සිසුන්ගේ මානසික සුවය සහ ආපදාවලින් පසු පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කාලය සැලකිල්ලට ගෙන ඇති බව අමාත්‍යංශය පවසයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අනෙකුත් අංශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලැබෙනු ඇත.