දැරිය කෙළසූ නරුමයාට නීතියෙන් දඬුවම්
බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කළා.
අදාළ වින්දිත දැරියට වයස අවුරුදු හතක් වන අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 30000/- ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කර සිටියා. යම් හෙයකින් එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කර සිටියා.
ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළා.
එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත් වසරක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ.
2015 වසරේ ජූලි මස තුන්වනදා හත් හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53 ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
