බෙංගාල බොක්කේ ‘අර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අද හෙට අනිද්දා මි.මී.100 ත් 150 දක්වා වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති ‘අර්නබ්’ සුළි කුණාටුව හේතුවෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළද, දිවයිනේ ප්රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතා පවසයි.
ඒ අනුව, අද (26), හෙට (27) සහ අනිද්දා (28) දිනවලදී පළාත් කිහිපයකට මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ඔහු සඳහන් කළේය.
අද පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා පැවසුවේ, ශ්රී ලංකාවට ඔබ්බෙන් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ‘ඩැනා’ ලෙස නම් කර ඇති සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
නවතම තොරතුරුවලට අනුව, එම පද්ධතිය යාපනයේ සිට කිලෝමීටර් 1,150ත් 1,165ත් අතර දුරකින් ඊසාන දෙසින් පිහිටා ඇති බව ද ඔහු පැවසීය.
මෙම සුළි කුණාටුව මේ මස 28 වැනිදා උදෑසන වනවිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු විය හැකි බවට දැනට පුරෝකථනය කර තිබේ.
එමෙන්ම, අද සහ හෙට වනවිට සුළි කුණාටුව ප්රබල තත්ත්වයකටත්, 28 වැනිදා වනවිට ඉතා ප්රබල තත්ත්වයකටත් වර්ධනය විය හැකි බවට පුරෝකථනය කර ඇති බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
පළාත් රැසකට තද වැසි සහ සුළං
මෙම කාලගුණ පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එහි වක්ර බලපෑම හේතුවෙන් උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වලට මෙන්ම විශේෂයෙන් ත්රිකුණාමලය ප්රදේශයට ද විටින් විට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු පැවසීය.
එමෙන්ම, ඇතැම් ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45ත් 50ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවට ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ධීවර ප්රජාවට විශේෂ අවධානයක්
මෙම තත්ත්වය හමුවේ ධීවර ප්රජාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද අරුණ ජයසේකර පැවසීය.
බෙංගාල බොක්ක සහ ඒ ආශ්රිත මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින්, ධීවර කර්මාන්තයේ නිරත පුද්ගලයන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
ජනතාවට කලබල නොවන ලෙස දැනුම්දීමක්
සුළි කුණාටුව ශ්රී ලංකාවෙන් ඈත මුහුදු ප්රදේශයක පැවතිය ද, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඇතිවිය හැකි බව නියෝජ්ය අමාත්යවරයා පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, ජනතාව අනවශ්ය කලබලයක් ඇති කරගත යුතු නොමැති බවත්, පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිමින් අදාළ නිල දැනුම්දීම් පිළිපැදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.