නා උයනේ අනතුරින් අපවත් වූ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවයන් හෙට, විදෙස් හිමිවරුන්ගේ දේහ අදාළ රටවලට
කුරුණෑගල - මැල්සිරිපුර - පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වූ විදෙස් හිමිවරුන්ගේ දේහ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව අදාළ රටවලට වැඩමකරවීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී කල්‍යානී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන් සඳහන් කළා.
එසේම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයන් හෙට දින පස්වරු 01.30ට ආරණ්‍ය සේනාසනයේම සිදුකිරීමට නියමිතව ඇත.
පෙරේදා රාත්‍රියේ භික්ෂූන් වහන්සේ 13 නමක් කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුව භාවිත කරමින් භාවනා කුටි වෙත වැඩම කරමින් සිටියදී අඳාළ අනතුර සිදුවීමෙන් එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් විය.
ඒ ඩක්කුවේ ආධාරකය යම් දෝෂයකට ලක්වී වේගයෙන් පහළට ඇදී යාමෙන්. සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වූයේ ධාරිතාව ඉක්මවා මෙම ඩක්කුවේ ගමන් කිරීම නිසා අනතුර සිදුව ඇති බවයි.
ඒ අනුව එම ඩක්කුවෙහි උපරිම ධාරිතාව කිලෝ 500 වශයෙන් සටහන් වී ඇත. කෙසේ වෙතත් එම අනතුරින් තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.
ඒ අතර දෙනමකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
මේ අතර අපවත් වූ භික්ෂුන් වහන්සේලා අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද සිටි බව වාර්තා වුණා.
අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය ඊයේ දින මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න විසින් සිදුකළ අතර අනතුර පිළිබඳව විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් පොලීසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා
එසේම ඊට යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය ලබාගන්නා මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇති බව සඳහන්.
තවද මෙහිදී යම් අපරාධමය වරදක් සිදුව ඇත්ද යන්නත් පූර්ණ විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත.
එමෙන්ම මහේස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත්තේ අනතුරින් අපවත් වී සිටින භික්ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහතුන් ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා.
එසේම අමාත්‍ය විජිත හේරත්ද සිද්ධිය සම්බන්ධයෙන් තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබූ බව වාර්තා වුණා.