ඩීසල් මිල 45% කින් සහ පෙට්‍රල් මිල 30% කින් ඉහළ ගිහින්.. ලංකාවට දැඩි අර්බුදයක් - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව නිසා ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්ඡාවචනය වෙමින් පවතින පසුබිමක, ඉන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමට ගත යුතු නව පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ගෝලීය තෙල් වෙළෙඳපොළේ පවතින තත්ත්වය ශ්‍රී ලංකාවට දැඩි අවදානමක් ගෙන දෙන බවත්, පවතින අයහපත් ප්‍රවණතාවය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවත් පුවත්පතක් වෙත අදහස් දක්වමින් පැවසූ බව වාර්තා වේ.
එසේම ඔහු පවසා ඇත්තේ සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය බරපතළ අභියෝගයක් බවයි.
ඒ අනුව මේ මස මුලදී පැවැති මිල ගණන්වලට සාපේක්ෂව ඩීසල් මිල සියයට 45 කින් සහ පෙට්‍රල් මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇති බවත් එතැන් සිට බොරතෙල් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවත් සඳහන්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටියේ, "අපි ජනාධිපතිතුමාගෙන් හමුවක් ඉල්ලා තියෙනවා, ඉදිරියේදී ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න. ඉන්ධන පරිභෝජනය අඩු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි," යනුවෙන්.
එසේම දේශීය වෙළෙඳපොළේ අනෙකුත් සිල්ලර ඉන්ධන බෙදාහරින්නන් ද වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේ දුෂ්කරතා පවතින බව ප්‍රකාශ කර ඇති බවත් සභාපතිවරයා එහිදී සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඉරානය සහ යුක්‍රේනය සම්බන්ධ ගැටුම් නිසා සැපයුම් අඩාල වීම හේතුවෙන් මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව යන කලාපවල බොරතෙල් මිල මේ සතියේ මාස දෙකකට පසු ඉහළම අගය වාර්තා කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළ අතර ඇතැම් බොරතෙල් වර්ගවල මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 110 කට ආසන්න අගයක් ගනු ලැබුවා.
එමෙන්ම එල්නිනෝ කාලගුණික තත්ත්වය නිසා ඇති වූ නියඟය හේතුවෙන් ජල විදුලි උත්පාදන ධාරිතාව අඩුවී තිබෙන බවත්, එය විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ නංවා ඇති බවත් සඳහන්.
ඒ අනුව මෙය අපට ඇති තවත් බරපතළ අභියෝගයක් බව සඳහන් කළ සභාපතිවරයා, ප්‍රමාණවත් තරම් ජල විදුලි උත්පාදනයක් නොමැති නිසා විදුලිය නිපදවීම සඳහා අපගේ තොගවලින් දිනෙන් දින වැඩිවන ඉන්ධන ප්‍රමාණයක් මුදා හැරීමට අපට සිදුවී තිබෙන බව පැවසූ බව සඳහන්.