මහින්දගේ නැන්දණියගෙන් මානසික විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට විරුද්ධව පවරා තිබෙන නඩුවකට පෙනී සිටීම වෙනුවෙන් ඇය සුදුසු මානසික තත්ත්වයක පසුවන්නේ ද යන්න තහවුරු කර ගැනීමට මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (26) දින තීරණය කර ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති අඳාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ විටදී, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අඳාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී විත්තිකාරිය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත්, එම තත්ත්වය මත ඇයට විරුද්ධ නඩුව පවත්වාගෙන යාම නීත්‍යානුකූල නොවන බවත්ය.
විත්තියේ එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් පැමිණිල්ල සඳහා පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඉල්ලා සිටියේ, විත්තිකාරිය නඩුවට මුහුණ දීමට සුදුසු මානසික මට්ටමක සිටීද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
ඒ අනුව අඳාළ නඩුවට පාදක වී ඇත්තේ 2012 සහ 2015 වසර අතර කාලසීමාව තුළ රුපියල් කෝටි 08 කට අධික මුදලක් අයථා ආකාරයට උපයා ගනිමින් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ක ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයෙන් දේපළ මිලදී ගැනීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනාවන් වේ.
හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, අදාළ දේපළ මිලදී ගැනීමට යෙදවූ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට විත්තිකරුවන් අපොහොසත් වීම නිසා ඔවුන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.
එමෙන්ම නඩුව මීට පෙර කැඳවූ විටදී විත්තියේ නීතිඥවරුන් විත්තිකාරියගේ රෝගී තත්ත්වය සනාථ කිරීමට 2017 වසරේදී ගංගොඩවිල දිසා අධිකරණය මඟින් ලබා දුන් නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණා. කෙසේ වෙතත්, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ එම දිසා අධිකරණ නියෝගය මෙම අපරාධ නඩුවට සෘජු සම්බන්ධතාවක් නොදක්වන බැවින්, නඩුවට මුහුණ දීමේ හැකියාව පිළිබඳව නැවත පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ ඉල්ලීමට අවසර ලබා දෙමින් විත්තිකාරියගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා දෙන මෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළා.
එම නියෝගයේ පිටපතක් රහස් පොලිසියට ලබා දෙන ලෙස අධිකරණ ලේඛකාධිකාරීවරයාට උපදෙස් දුන් විනිසුරුවරයා නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 22 වන දින කැඳවීමට දින නියම කර ඇත.