අනේ අම්මෙ මං එනකොට කොහෙවත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද අහපු පුංචි දෝණි ආයේ නොඑන්නම ගිහින් - බිහිසුණු අනතුරක්
අමායා දිව්‍යාංගනී නම් වයස අවුරුදු 4ක් වූ දැරිවියක් අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වේ.
ඒ ගමන් ගත් ත්‍රීරෝද රියෙන් එළියට හිස දමාගෙන ගමන් කිරීම හේතුවෙන් ඉදිරියට පැමිණි ටිපර් රථයේ පිටුපස රෝදය අසල ඇයගේ හිස ගැටීමෙන්.
409/A, බටහිර පරගස්තොට, පරගස්තොට ලිපිනයේ පදිංචි පෞද්ගලික ආයතනවල රැකියාව කරන 27 හැවිරිදි උදේශිකා සෙව්වන්දි සහ 30 හැවිරිදි ඩිලාන් ප්‍රසන්න යුවළට සිටි එකම දරුවා වන්නේ අමායා දිව්‍යාංගනී දියණිය මවුපිය ආදරය මැද හැදී වැඩුණේ අසල්වැසි නෑදෑයන්ගේ ද සැලකිලි නොඅඩුව ලබමින්.
පරගස්තොට, මිල්ලනිය අවට දරුවන් අට දෙනකු දිනපතා ලබුගම ප්‍රදේශයේ සිඟිති පෙර පාසලට රැගෙන යන අඳාළ ත්‍රිරෝද රථයට එදින (25) පෙර පාසල අවසන් වීමෙන් පසුව පුංචි අමායාද ගොඩව ඇත්තේ නිවෙසට යන විට රැකියාවට යෑමට සූදානම් වෙමින් සිටින මව දැකගැනීමේ බලාපොරොත්තුවෙන්.
එහෙත් ත්‍රිරෝද රථයට ගමන් කළ හැකි වූයේ කිලෝමීටර් හතරක් පමණි. ත්‍රිරෝද රථය මිල්ලනිය ගොවිජන සේවා මධ්‍යස්ථානය පසු කර තරමක් ඉදිරියට ගමන් කරමින් තිබුණි.
ඒ මිල්ලනිය, රන්මිණික ප්රදේශයයි. අමායා ත්‍රිරෝද රථයේ දකුණු පස කෙළවරට වෙන්නට සිට ඇති අතර ඇය මොහොතකට තම හිස ත්‍රිරෝද රථයෙන් පිටතට යොමු කර ඇත.
ඒ සමඟම ඉදිරියට පැමිණි ටිපර් රථය ත්‍රිරෝද රථය පසුකර යන විට එහි පිටුපස රෝදය අසල ඇයගේ හිස ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරෙන් පුංචි අමායාගේ හිසට බරපතළ තුවාල සිදු වූ අතර ඇය හල්තොට රෝහලටත්, පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහලටත් රැගෙන යෑමට කටයුතු කළද ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. පුංචි අමායාගේ මවගේ අඳෝනාව මේ වන සියලු දෙනාම කම්පාවට පත් කර ඇත.
"අනේ ඊයේ රෑත් මං කකුලෙ තියාගෙන හොලවලා නේද නිදි කළේ. ඔය ටික දුර මට මගේ දරුවා පරිස්සම් කරලා ගෙදරට ගෙනත් දෙන්න බැරි වුණේ ඇයි දෙයියනේ. ඉස්කෝලේ නිවාඩුවට අපි කොහේහරි ඇවිදින්න යමු කියලත් කිව්වා. ගෙදර ඉන්නකොට හැම තිස්සේම මගේ පස්සෙන්මයි හිටියේ. අනේ මගේ පණ නැතුව මං කොහොමද ඉවසාගෙන ඉන්න ද දෙයියනේ”
මේ අතර පුංචි අමායා සිදුවීම වූ දින පෙර පාසල් යෑමට පෙර තමාට එදින යාමට බැරි බවට පැවසූ වේදනාබර කතාවක්ද වාර්තා වේ.
"අනේ අම්මෙ මං ගෙදර එනකොට කොහෙවත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද? මට ඔයා නැතුව කවුරු හිටියත් වැඩක් නෑනෙ. ඔයත් එක්ක මං ඉස්කෝලෙ නොගිහින් ගෙදරම ඉන්නද? අනේ මට බෑ අම්මෙ ඉස්කෝලේ යන්න."