විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පත් දෙකක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් - සම්මත කිරීමට අවශ්‍ය බහුතරය මෙන්න
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණ අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, 2026 අංක 79 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2026 අංක 80 දරන එම පනතට අදාළ තවත් සංශෝධන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ මෙම පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව, 2026 අංක 79 දරන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී නිශ්චිත සංශෝධන කිහිපයක් සිදුකිරීමට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.
එම සංශෝධන යෝජිත 77අ(5) වගන්තියට අදාළ වන අතර, සැකකරුවකු අධිකරණය හමුවේ පෙනී සිටීම සහ අදාළ වාර්තා සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට භාරදීම සම්බන්ධයෙන් වන විධිවිධාන ඊට ඇතුළත් වේ.
මේ අතර, 2026 අංක 80 දරන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම තීරණ පාර්ලිමේන්තුවේ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා උපදෙස් ලබාදී තිබේ.