චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ නඩුවේ තීන්දුව එයි - ගුවන් නියමුවරියගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අයදුම්පත කොළඹ දිස්ත්‍රික් අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කළේය.
මෙම අයදුම්පත ඉදිරිපත් කර තිබුණේ ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ගොනු කළ පීතෘත්වය සම්බන්ධ නඩුවේදීය.
ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තම දරුවාගේ පියා ලෙස චාමික කරුණාරත්නගේ නම සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් ලබාදෙන ලෙසයි.
නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ලලිත් කන්නන්ගර මහතා සඳහන් කළේ DNA විශ්ලේෂණයක් සඳහා කරුණාරත්නට රුධිර සාම්පලයක් ලබාදීමට අධිකරණය නියෝග කිරීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් කරුණු පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. කෙසේ වෙතත්, DNA පරීක්ෂණය සම්බන්ධ අයදුම්පත ප්‍රතික්ෂේප කළද, නඩුවේ වැඩිදුර විභාගය සඳහා එය ඔක්තෝබර් 9 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කළේය.
චාමික කරුණාරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා, නීතිඥ නිරංජලා ගුණතිලක මහත්මිය සමඟ පෙනී සිටි අතර, පැමිණිලිකාර රසිකා සෙව්වන්දි වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙනී සිටියේය.