සෙව්වන්දිගේ කේක් ගෙඩිය රස පරීක්ෂකට - ඇතුලේ විෂදැයි සැකයක්
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කංචන දිසානායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන්දිනය සැමරීම සඳහා රැගෙන ආ කේක් ගෙඩියක් වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මේ වන විට දැඩි ආරක්ෂාවක් යටතේ රඳවාගෙන සිටී.
ඇයගේ උපන්දිනය පසුගිය මාර්තු 29 වැනිදාට යෙදී තිබූ අතර, එය සැමරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කේක් ගෙඩියක් ලැබී තිබූ බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ කේක් ගෙඩිය තුළ කිසියම් විෂ රසායනයක් හෝ මත්ද්‍රව්‍යයක් අඩංගු වී ඇත්ද යන්න පිළිබඳව සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන බව නිලධාරීහු අධිකරණයට පැවසූහ.
ඒ අනුව එම කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා, එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද නියම කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත සැකකාරියගෙන් දැනට ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.