ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැඩසටහනක් "ක්ලීන් ශ්‍රී ලංකා" යටතේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 15 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී අදහස් පළ කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, පුරවැසියන්ට ගුණාත්මක හා සුරක්ෂිත ආහාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි.
මෙම සාකච්ඡාවේදී පාරිභෝගිකයින්ට ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, සෞඛ්‍ය ප්‍රමිතීන්ට ගැලපෙන ආහාර ලබා ගැනීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය ඉහළ නැංවීම සඳහා ගත හැකි පියවර, ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගය ලබා ගැනීම යන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ආහාර ප්‍රමිතිකරණය හා ගුණාත්මකභාවය සඳහා මෙරට ඇති ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී සලකා බලන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම, නිෂ්පාදන භෝග සුරක්ෂිත කිරීම, ගබඩාකරණය සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ඒකාබද්ධ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගද සාකච්ඡාවට ලක් විය. ආපනශාලා සහතිකකරණය, වීදි වෙළෙඳුන් නියාමනය, වීදි ආහාර ස්ථාන හා රථ ලියාපදිංචි කිරීම, පුද්ගල පුහුණු ලියාපදිංචිය සම්බන්ධ පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ච නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
