ලේ විලක් වුණු මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න - රැදවියන් තවමත් අඛණ්ඩ විරෝධතාවයක තත්ත්වය පාලනයට ත්‍රිවිධ හමුදාවම එයි
මීගමුව බන්ධනාගාරය තුළ දින දෙකක් පුරා පැවති දැඩි නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂාව තහවුරු කර ඇති නමුත්, කාන්තා රැඳවියන් තවදුරටත් එහි විරෝධතාවයේ නිරත වෙමින් සිටින බවයි.
පසුගිය 05 වන දින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ ඊට විරෝධය දක්වන පිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 34 දෙනෙකු තුවාල ලැබීය.
පසුව ඊයේ (06) පෙරවරුවේ යළිත් රැඳවියන් සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට පහර දීමත් සමඟ තත්ත්වය දරුණු අතට හැරුණි.
මෙම සමස්ත ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු මියගොස්, 100කට අධික පිරිසක් තුවාල ලැබූහ.
තුවාලකරුවන්ගෙන් බරපතළ තත්ත්වයේ පසු වූ 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත්, තවත් 58 දෙනෙකු මීගමුව මහ රෝහලටත් ඇතුළත් කර තිබේ.
මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකෙරෙන අතර, මියගිය අය හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප මීගමුව රෝහලේ ප්‍රදර්ශනය කර ඥාතීන්ට අවස්ථාව සලසා දී ඇත.
මේ අතර, ආරක්ෂක පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ අඟුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහාම මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මෙම සාහසික කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන් කටයුතු කරන බවයි.
මෙම කමිටුව මඟින් සිද්ධියට හේතු, ගතයුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.