මැදපෙරදිග ඇවිලෙන ගින්න අද කොළඹ කොටස්වලටත් බලපායි
අද (03) දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එසේ ගණුදෙනු නතර කර ඇත්තේ වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයක් වන S&P SL20 දර්ශකය පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව 5.27% කින් පහත වැටීම හේතුවෙන් නිසා බව සඳහන්.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුව, දර්ශකයේ මෙම හදිසි පහත වැටීම මත වෙළඳපොළ මෙසේ 'වෙළඳපොළ අත්හිටුවීමකට' ලක් කර ඇත.
එමෙන්ම ගණුදෙනු අත්හිටුවන විට S&P SL20 දර්ශකය ඒකක 366.97 කින් පහත වැටී ඒකක 6,269.00 ක් වශයෙන් සටහන් වූ බව වාර්තා වේ.
එසේම සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,250.30 කින් පහත වැටී ඒකක 22,483.76 ක් වශයෙන් සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ දන්වා ඇත්තේ මිනිත්තු 30ක් වැනි සුළු කාලයකින් පසුව සාමාන්‍ය ගණුදෙනු නැවත ආරම්භ කළ බවයි.
ඒ අනුව පෙ.ව. 10.01ට නැවත සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කළ බව සඳහන්.