ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සබඳතාවල තවත් ජයග්‍රහණයක් අත්කර දෙමින් පිලිපීනයේ පළමු කොන්සියුලර් කාර්යාලය විවෘත වෙයි
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසත්, කොන්සියුලර් සේවා පහසුකම් පුළුල් කිරීමේ අරමුණින්ත් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඩාවෝ නගරයේදී විවෘත කර තිබේ.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගිය 25 වැනිදා ඩාවෝ නගරයේ පැවති උත්සවයකදී මෙම කාර්යාලය නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස මෙම කොන්සියුලර් කාර්යාලය ස්ථාපිත කර ඇත.
ඉන්දීය සාගරයේ ආරක්ෂාවට නව පියවරක් තබමින් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව එක්ව CARAT 2026 නාවික අභ්‍යාසය ආරම්භ කරයි
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, දෙරට අතර වෙළෙඳ, සංචාරක, ආයෝජන, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවයි.
මින්ඩනාඕ කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජනතාවට පහසුවෙන් කොන්සියුලර් සේවා ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඩාවෝ නගරය මෙම කාර්යාලය සඳහා තෝරාගෙන තිබේ.
මීට පෙර එම සේවා ලබා ගැනීම සඳහා බොහෝ දෙනාට පිලිපීනයේ මැනිලා නුවර වෙත ගමන් කිරීමට සිදුව තිබූ අතර, නව කාර්යාලය ස්ථාපිත කිරීම හරහා කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
කොන්සියුලර් සේවා සැපයීමට අමතරව, දකුණු පිලිපීනයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන ඩාවෝ නගරය හරහා ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමටද මෙම කාර්යාලය දායක වනු ඇත.
මෙම නව කොන්සියුලර් කාර්යාලය මින්ඩනාඕ කලාපයේ ද්විපාර්ශ්වික ආර්ථික, සංස්කෘතික සහ ජනතා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාලය කාර්යක්ෂම, පහසු සහ ජනතා හිතකාමී කොන්සියුලර් සේවාවක් සැපයීමට සැලසුම් කර ඇති අතර, ඉදිරියේදී දෙරටේ ජනතාවගේ යහපත සඳහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕහි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ සහ ඩාවෝ නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා ප්‍රාදේශීය නිලධාරීන් රැසක් සහභාගී වූහ.