පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.
මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
නමුත් එය 2027 වසර ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කර තිබේ. ඒ අනුව නිවැරදි කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
- උපුටාගැනීම -
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්විය. මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවය.
ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂයමාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිතව ඇති බව ය. එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදුකරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අමාත්‍යතුමිය පැවසීය.
අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය. මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදුකරන බවත් ඇය සඳහන් කළා ය. මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් මෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීහූ රැස්ව සිටියහ
. - උපුටා ගැනීම අවසන් -