සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.
2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, 2023 වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී මෙලෙස විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බවයි.
ඒ, අනුව දුම්කොළ බදු හා වෙනත් බදු පසුගිය වසර දෙකක කාලපරිච්ඡේදය පුරාවට ඉහළ යාමත් සමඟ නිෂ්පාදිත මිල ගණන් ඉහළ යාම හමුවේ මෙලෙස සිය විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසනවා.
කෙසේ වෙතත් ලංකා දුම්කොළ සමාගම මෙහිදී පවසන්නේ, බදු සහ අනෙකුත් කරුණු හමුවේ සිය නිෂ්පාදිත මිල ගණන් ඉහළ යද්දී, වෙළෙඳපොළ තුළ නීති විරෝධී දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ අතර සමාගම විසින් දුම්කොළ පත්‍ර (tobacco leaf) අපනයනය කිරීමට ගත් පියවර හමුවේ සමස්ත පිරිවැටුමේ පහළ යාම අර්ධ වශයෙන් ආවරණය කර ගැනීමට හැකි වූ බව ද මෙහිදී ඔවුන් අවධාරණය කරනවා.
2024 සැප්තැම්බර් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් ලංකා දුම්කොළ සමාගම මේ බව සඳහන් කරන අතර මෙම කාර්තුවේ දී රු. බිලියන 12.9 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත්ව ඇත. එහිදී ලංකා දුම්කොළ සමාගමේ 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා බදු ගෙවීමෙන් පසු ලාභය සටහන් වන්නේ රු. බිලියන 7.7 ක් ලෙසිනි.
මෙම කාර්තුව තුළ දී සමාගම රු. බිලියන 36.22 ක් රජයේ බදු ලෙසත් රු. බිලියන 5.16 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇති අතර ඒ අනුව රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රු. බිලියන 41.38 කි.
කෙසේ වෙතත් ලංකා දුම්කොළ සමාගමේ මෙම කාර්තුමය මූල්‍ය ප්‍රතිඵලයත් සමඟම 2024 මුල් මාස 09 වෙනුවෙන් රු. බිලියන 102.65 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 14.84 ක් ආදායම් බදු ලෙසත් සමාගම විසින් ගෙවා ඇති බව අනාවරණය කරයි. ඒ අනුව ලංකා දුම්කොළ සමාගම 2024 මුල් මාස 09 තුළ දී සමස්තයක් ලෙස රු. බිලියන 117.49 ක් රජයට බදු ලෙස ගෙවා ඇත.