රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක, ලැප්ටොප්, දුරකථන, සිම් කාඩ් ඇතුළු සියල්ල විශේෂ පරීක්ෂාවකට
මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කරයි.
ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුළු ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව බව සඳහන්.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත.
තවද මහා භාණ්ඩාගාරයේ ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විවෘත රැස්වීමක් කැඳවා විගණකාධිපතිවරයා සමඟ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර ඇත.
එම සංවිධානය අදාළ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණේ මේ පිළිබඳව එම මුදල් කාරක සභාවේ අවධානයට යොමු කළ ද එය මාසයකින් කල් දමා ගැනීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවස්ථාව ලැබී තිබෙන බවටයි.
කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී මේ වනවිට සති දෙකක කාලයකට ආසන්නයි.