ස්පර්ශයට වඩා වැදගත් දරුවගෙ කැමැත්ත.. ලංකාවේම දේශපාලකයන්ට රතු එළි නිකුත් කරමින් බුකිය කැළඹෙයි
ලංකාවේ දේශපාලනය කිව්වම ගොඩක් වෙලාවට අපේ මතකෙට එන එක රූප රාමුවක් තමයි නැෂනල් එක ඇඳලා ගමට ඇවිත් කැමරා කාචයට අහුවෙන්න පොඩි ළමයෙක් වඩා ගන්න එක.
ලෝකෙම තියෙන කරුණාව, ආදරේ පෙන්නන ගමන් ඒ දරුවව හුරතල් කරන එක. ඕක ඉතින් අතීතේ ඉඳන්ම එන හරි සාමාන්‍ය දෙයක් කියලා හිතුවට අද ලෝකේ යන පැත්තත් එක්ක, ගිලිහෙන සාරධර්ම සහ මනුෂ්‍යත්වයත් එක්ක ඒවගේ දසුනක් එච්චර සාමාන්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඒක කාලෙත් එක්ක, ලෝකෙ වෙන දේවල් එක්ක, මිනිස්සුන්ට ලැබුණු දැනුවත්භාවයක්. නීතිය ගැන සහ වෙන්න පුළුවන් අන්තිම නරක දේ ගැනත් මිනිස්සු දැන් දැනුවත් කියලා පෙන්වන්න පුළුවන් හොඳ ආයුධයක්.
මේ වන කොට සමාජ මාධ්‍ය පුරාවටම උත්සව අවස්ථාවකදී දේශපාලනඥයෙකු විසින් සාම්ප්‍රදායික නර්තන ඇඳුමකින් සැරසී සිටි කුඩා දැරියකගේ ශරීරයට අත තබා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් මුල් කරගනිමින්, දරුවන්ගේ ශාරීරික ස්පර්ශයන්හිදී ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ අනුමැතිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
ඒවගේම මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකට ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක මෙන්ම 'Stop Child Cruelty Trust' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය විශේෂ සටහනක් තියලා තියෙනවා. අඳාළ සටහන පහතින් උපුටා දක්වා ඇත,
"GOOD TOUCH BAD TOUCH vs CONSENT! ස්පර්ශයට වඩා වැදගත් දරුවගෙ කැමැත්ත! ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න බැරි රටක දරුවන් අනාරක්ෂිතයි කියන එකට වමේ පිංතූරෙ සාක්ෂි. ඒ නිසා තමන්ගෙ දරුවව ආරක්ෂා කරගන්න තමන් දැනුවත් වෙන්න. ⏪️ බොහෝ දෙනෙක් වමේ දේශපාලකයගෙ පිංතූරෙට මාව ටැග් කලාට ස්තුතියි. මේ වැඩේ අජූතයි. ⏩️ දකුණෙ පිංතුරේ කතාව හොඳින් අහන්න. මේක අපි මෑතකදි #40000 පෙත්සම පාර්ලිමේන්තුවට භාර දුන්නු අවස්ථාවෙ ගත්තු එකක්. මෙතන බොහෝ පිරිසක් හිටියා. මේ දරුවො දෙන්නත් ඒගොල්ලන්ගෙ දෙමව්පියනුත් Stop Child Cruelty Trust එක්ක වැඩ කරනවා. එදා තිබ්බ තද බදයත් එක්ක දරුවගෙ කරට අත තියන්න කලින් සජිත් ප්‍රේමදාස මේ පුතාගෙන් ඇහුවා "is it ok to put my hands on your shoulder?" කියලා. ඒක ඇහුනු මටත් පුදුම හිතුනා. 📌මෙතන අපි දෙන්න ඕන පණිවිඩය දරුවෙක්ව හොඳ හෝ නරක විදිහට ස්පර්ශ කරන එකටත් වඩා දරුවගෙ කැමැත්ත/consent එක වැදගත්. මේ කැමැත්ත/අනුමැතිය දීමට ඇති අයිතිය තමයි දරුවා බලාත්මක කරන ළමා අයිතිවාසිකම. ඒ නිසා ඕනෑම ස්පර්ශයක් දරුවගෙ කැමැත්ත නැත්තම් BAD TOUCH වෙන්න පුලුවන්, ළමා අයිතිවාසිකම් උල්ලංගනයක් වෙන්න පුලුවන්. National Child Protection Authority ටැග් කලාට වැඩක්ම නෑ...හැබැයි ඕගොල්ලො ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර, *ළමා අයිතිවාසිකම්* කියන්නෙ "නෑ බෑ" කියන සරල basic මූලධර්මය බව වත් තේරුම් නොගෙන, මිලියන ගණන් බදු සල්ලි වියදම් කරලා ශිෂ්‍ය තානාපති කියලා ප්‍රෝඩාවක් කලාට වැඩක්ම නෑ... වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්ය කරන්න බල කරමු - ඉස්සෙල්ලාම දේශපාලකයින්ට බංකු ගේන්න කියමු! "
ඇය මෙම සටහනෙන් අවධාරණය කර ඇත්තේ වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් විෂය මාලාව තුළ වහාම අනිවාර්ය කළ යුතු බවත්, දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ සීමාවන්ට ගරු කළ යුතු ආකාරය පිළිබඳව වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන්ම දේශපාලනඥයන් ප්‍රථමයෙන් දැනුවත් විය යුතු බවත් ය.
හැම කතාවකම දෙපැත්තක් තියෙනවානේ. චේතනාව මොකක් වුණත් මේ වන විටත් අඳාළ ඡායාරූපය නිසා විවිධ මත සමාජ මාධ්‍ය පුරාවටම පළ වෙනවා. සමහරු දෝෂාරෝපණය කරනවා, සමහරු දැනුවත් වෙනවා, ඒවගේම තව සමහරු නිර්දෝෂීභාවය ගැනත් අදහස් දක්වනවා. ඔය මොන අදහස දැක්වුවත් එය අනෙකාගේ අයිතියට සහ නිදහසට හානියක් නොවන ලෙස දැක්වීම ගෞරවනීය වෙනවා. මොකද ඔබ නොදැනුවත්ව නිවැරදිව සොයා නොබලා කියන එක වචනයකින් වුවත් වින්දියෙක් බිහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ ඡායාරූපයේ ඉන්න කුඩා දරුවා වගේම කුමන දේශපාලන මතයක් දැරුවත් සිටින මිනිසා කළු හෝ සුදු විය හැකි බැවිනි.