''රාජ්‍ය මර්දනය හමුවේත් ඇය පසුබැස්සේ නැහැ” – විජය සහ සිරිමාවෝ වෙනුවෙන් බිය නැතිව පෙනී සිටි නන්දා මාලිනිය ගැන චන්ද්‍රිකාගෙන් සටහනක්

Report

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනියගේ අභාවය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සංවේදී සටහනක් පළ කර තිබේ.

එහිදී නන්දා මාලිනිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ සුවිශේෂී නිර්මාණ ශිල්පිනියක ලෙස හඳුන්වා දෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සමාජ අසාධාරණයන්ට එරෙහිව නොබියව හඬ නැගූ ඇයගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීත්වයද සිහිපත් කර ඇත.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් ගුවන් විදුලියේ අවස්ථා අහිමි වූ කලාකරුවන් අතර නන්දා මාලිනියද සිටි බව ඇය සඳහන් කරයි.

එමෙන්ම විජය කුමාරතුංග මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බොහෝ කලාකරුවන් නිහඬව සිටියද, නන්දා මාලිනිය ඔහු වෙනුවෙන් නොබියව පෙනී සිටි බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය සටහනේ සඳහන් කර තිබේ. නන්දා මාලිනිය සම්බන්ධයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පළ කළ සම්පූර්ණ සටහන මෙසේය.

“ඇය ශ්‍රී ලාංකේය ගීත කලාවේ යශෝ රාවයයි. නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ, පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්‍රශස්ති ගායනාවන් නොකළ නිසාවෙනි. සමාජ අසධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් නිසාවෙනි.

ගීතයෙන් සමාජයක් නින්දෙන් අවදි කළ නිසාවෙනි. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහිවීම නිසා ගුවන් විදුලියේ දොරගුළු වැසුණු ගායක ගායිකාවන් කීප දෙනා අතර නන්දා ද පෙරමුණේ සිටියා ය. ඇතැමෙක් රාජ්‍ය මර්දනය හමුවේ පසු බසිද්දී නන්දා තම මතය වෙනුවෙන් නොබියවම අඛණ්ඩව පෙනී සිටියා ය.

විජය අසාධාරණ ලෙස අත් අඩංගුවට ගත් මොහොතේ රාජ්‍ය ත්‍රස්තවාදයට බියේ බොහෝ කලාකරුවන් නිහඬ වද්දී නන්දා නොබියව විජය වෙනුවෙන් පෙරට ආවා ය. නිතර රොස්මිඩ් නිවසට පැමිණි ඇය මට මහත් ශක්තියක් වූවා ය.

සමාජ අසාධාරණය හමුවේ සමාජය ම නිර්වින්දය වෙද්දී නන්දා නොබියව පෙරට පැමිණ ජීවිත තර්ජන නොතකා යුක්තිය වෙනුවෙන් හඬ නැගුවාය. ඇය කිසිදු විටෙක සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. ඉතාමත් සරල දිවියක් ගත කළ ඇය ඕනෑම අභියෝගයක් මධ්‍යයේ නැගී සිටින මහා පෞරුෂයකට, නිර්භීතකමකට සහ ආත්ම ශක්තියකට උරුමකම් කියන්නී ය.

පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් වන්දි බට්ටකම් කරන කලාකරුවන්ට වඩා නන්දා මාලිනිය කෙරේ මා හදවතේ ඇත්‍තේ ඉමහත් ගෞරවයකි.

ඇතැමෙක් පටු දේශපාලන දුෂ්ඨීන්ට යට වී ඇයට පහර ගැසුවද , ඇයගේ කීර්තිය දශමයක් හෝ අඩු නොවන බව මම දනිමි. නන්දාගේ දේශපාලන දුෂ්ටිය සහ භාවිතාව, ප්‍රතිපත්තිගරුක බව නොදැන පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඇය ව විවේචනය කරන්නවුන්ට මම අනුකම්පා කරමි.

ආචාර්‍ය නන්දා මාලිනියනි ඔබට නිවන් සුව! ඔබගේ නිර්මාණ භාවිතාව තවත් යුග ගණනාවකට ආලෝකයක් වනු ඇත.”

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම සමුගන්න දවස අද - නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන දන්වයි

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම සමුගන්න දවස අද - නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන දන්වයි

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක ප්‍රකාශයක්

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක ප්‍රකාශයක්