රනිල් කරේ පොඩි වැරැද්දක් නෙමෙයි හරිනම් දැනට අවුරුදු 35කට කලින් රනිල් හිරේ යන්න ඕනේ
එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා විසින් මාධ්‍ය හමුවකට එක්වෙමින් රට විනාශ මුඛයට ඇද දැමුවේ යැයි විවේචනය කළේය.
එහිදී ඔහු පැවසුවේ, පසුගියදා හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීමෙන් සිදුවුණේ ප්‍රභූවාදයට එරෙහිව ගෙන ගිය සටනේ ඓතිහාසික ජයග්‍රහණයක්. මේක ඉතිහාසය විවෘත වීමක්.
ඒ නිසා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව ප්‍රභූවාදයට එරෙහිව කරන සටනේදී අද ජනතාව ඉදිරියට ඇවිත් තිබෙනවා. පසුගිය කාලේ තිබූ සියලු මැතිවරණවලදී ජනතාව සටන් කළේ ප්‍රභූවාදයට එරෙහිවයි.
ප්‍රභූවාදය එතරම්ම නරුමයි. ඒක තුච්ඡ ආධිපත්‍යයක්. මේ රටේ ජනතාවට අවශ්‍ය වුණා මේ ප්‍රභූවාදයට එරෙහිව සටන් කිරීමට. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ප්‍රභූවාදයට එරෙහි සටනේ ජයග්‍රහණයක්.
හුඟක් අය කියනවා මේක දේශපාලනිකයි කියලා. ඔව් අපි කියන්නේ ප්‍රභූවාදයට එරෙහි සටනේ නිර්ප්‍රභූන් යටපත් කිරීමත් පාගා දැමීමත් දේශපාලනික වැඩක් තමයි. ඒක දේශපාලන සටනක්.
මේ සටනේදී නිර්භයව තීන්දු තීරණ ගැනීම සිදු විය යුතුයි. එය අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව කරලා තිබෙනවා. එයට අපි හිස නමා ආචාර කරනවා. මේක එක්තරා විප්ලවීය අවස්ථාවක්. මේක ඉතා වැදගත් සන්ධිස්ථානයක්. සමහරු රනිල් වික්‍රමසිංහ බලල එන ගමන් කියනවා මේ පොඩි දේකටනේ හිරේ දැම්මේ කියලා. මොකක්ද පොඩි දේ එතකොට.
එක්කෝටි හැටහය ලක්ෂෙ තමයි පොඩි දේ. ඔව් ඒක ඒ කියන අයට නම් සුළුයි තමයි. වෙහෙරක් ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද කිව්වලු. ඩොලර් බිලියනයක් මේ රටේ ධනය හොරකම් කරපු උන්ට මේවා සුළු දේවල්. හැබැයි කොස් ගෙඩියක් හොරකම් කරපු මිනිහාව, බෝඩ් එකක් අල්ලගෙන හිටපු මිනිහව හිරේට දානවා. මේ අය එදා ඉඳන්ම තම තමන්ව ආරක්ෂා කර ගත්තා.
රනිල් වික්‍රමසිංහ හිරේට යන්න ඕන මීට අවුරුදු 35කට කලින් හරියට බැලුවොත්. රනිල් වික්‍රමසිංහ බේරිලා ඉන්නේ ඒ ප්‍රභූවාදය නිසායි. බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් ගිය නඩු යට ගහල ඒවා දියාරු කළේ කවුද ඔහු ආරක්ෂා කළේ කවුද? එයාලා හිතුවේ එයාලට අත තියන්න බැහැ කාටවත් කියලායි. අනාගතය අභියෝගයට ලක්වෙලා තියෙන හින්දයි මුන් ඔක්කොම එකතු වෙලා ඉන්නේ.
අමු ගහට මෙහෙම නම් වියළි ගස්වලට කොහොම තියෙයිද? දැන් ඉතිහාසය විවෘත කරලයි තිබෙන්නේ. දැන් ප්‍රශ්න කරන්න පුළුවන්. විධායක ජනාධිපති කෙනෙක් හිරේට ගෙනියන්න පුළුවන් නම් අනෙකුත් ඕනම ප්‍රභූ කියාගන්නා අයටත් නීතිය එහෙමම තමා අන්න ඒ විල්පවීය පරිවර්තනය සිදුවෙලා තිබෙනවා. ඒකයි රටේ ජනතාව බලාපොරොත්තු වුණේ.
රනිල් වික්‍රමසිංහ කවදාවත් ජනතා ඡන්දෙකින් ජනාධිපති වුණ කෙනෙක් නෙවෙයි. ඒ වගේම හිරේ ගිය ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති රනිල්. ඉතින් රනිල් වික්‍රමසිංහ සුවිශේෂීයි. ධනේෂ්වරයේත් ලුම්පන් ධනේෂ්වරයේත් එකතුවක් රනිල් කියන්නේ. දෙමළ දේශපාලන පක්ෂ කතා කරනවා රනිල්ගේ ලිබරල්කම ගැන. එයා තමයි 1983 කළු ජූලිය පාර්ලිමේන්තුවේ අනුමත කරමින් කතා කරපු මිනිහා.
හැන්සාර්ඩ් එක බැලුවා නම් ඒක බලන්න පුළුවන්. 1983 කළු ජූලිය කියන ව්‍යසනය රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කළා. මේ අය මේක වැරැදියි කියලා මේ කතා කරන අය එදා සරත් ෆොන්සේකා හිරේ දාද්දි කොහෙද හිටියේ. ශිරාණි බණ්ඩාරනායක එළියට දැම්මේ කොහොමද. මේ ප්‍රභූන් තමන්ගේ බලය උදෙසා කරපු සියලු තක්කඩි වැඩ මේ රටේ ජනතාව දන්නවා.