වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ලිපියක් - ''සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්''
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති වත්මන් අභියෝග සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.‘ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය’ යන මැයෙන් යොමු කර ඇති මෙම ලිපිය මගින්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් නිකුත් කර ඇති නිල පුරෝකථනවලට අනුව, 2027 වසරේ මුල් භාගය වන විට මෙගාවොට් පැය 450ක් දක්වා බලශක්ති හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවද වාණිජ මණ්ඩලය පෙන්වා දී තිබේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති වේගයෙන් ව්‍යාප්ත කිරීම බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රායෝගික විසඳුමක් ලෙස එම ලිපියෙන් අවධාරණය කර ඇත.
එහෙත් මෑතකදී හඳුන්වා දී ඇති ඇතැම් ප්‍රතිපත්තිමය උපදෙස් හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබාදිය හැකි මෙම ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්මට බලපෑම් එල්ල වී ඇති බවද එහි සඳහන් වේ.
දැනට වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා ක්ෂේත්‍රය ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,600ක පමණ ධාරිතාවක් දායක වන අතර, ආනයනික පොසිල ඉන්ධන සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය අඩු කිරීමටද දායකත්වයක් ලබාදෙන බව වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම ක්ෂේත්‍රයෙන් මසකට ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.4ක ඉන්ධන වියදමක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රය මේ වන විට නියාමනමය බාධක රැසකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ජාතික බලශක්ති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.