ලංවිම විශ්‍රාම අර්බුදයක් - මහා නායක හිමිවරුන් වෙත ලිපියක්
ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස විසින් අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි මාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර තිබේ.
ලංවිම ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනෙකුගේ ජීවනෝපායන් සුරැකීම සඳහා ඉක්මන් මැදිහත් වන ලෙස ආයාචනය කරමින් එම ලිපිය යොමු කර ඇත.
එම ලිපියෙහි මෙලෙස සදහන් වේ
'' ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව යටතේ හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (VRS) යටතේ විශ්‍රාම ගැනීමට අපගේ අභිප්‍රාය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,200 කට ආසන්න සංඛ්‍යාවකගේ සාමූහිකයක් ලෙස, අපි ඉතා ඔබ වහන්සේලා වෙත ලියන්නේ අප පවුල් වැටී ඇති දැඩි මානුෂික ගැටළු සම්බන්දවයි. අපි ලංකා විදුලි බල මණ්ඩලයේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් වන අතර, රජය විසින් හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය (VRS) පිළිබඳ නිල ප්‍රකාශ, නියමයන් සහ පොරොන්දු මත විශ්වාසය තබා එයට අයදුම් කර ඇත්තෙමු.
එම ක්‍රමය යටතේ අපගේ අනාගත ජීවිත සැලසුම්, ආර්ථික වගකීම් සහ පවුල් තීරණ සකස් කර තිබුණද, මේ වන විට පත්වීම් දිනය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් අප දැඩි අසාධාරණ තත්ත්වයකට පත්ව සිටිමු. VRS අයදුම් කළ සේවකයන් වන අපට, ලං.වි.ම. අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත්කරන තෙක් මණ්ඩලයෙන් ඉවත් වී අපගේ නව සැළසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇත. නියමිත දිනය රජය මගින් ප්‍රකාශයට පත්කිරීම දිනෙන් දින කල්යාම නිසා අප සියළුදෙනා දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.
එමනිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉතා ඉක්මණින් සාධනීය සහ සාධාරණ විසදුමක් ලබාදෙන මෙන් රජය දැනුවත් කරන ලෙස ඔබ වහන්සේලාගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමු. අප මුහුණ දී ඇති අතිශය ගැටළු සහගත තත්වයන් පැහැදිලි කිරීම සදහා උදාහරණ කිහිපයක් පහත ගෙනහැර දක්වමු.
1. විදේශරැකියා ලබාගැනීමේ අරමුණින් නීත්‍යානුකූල විදේශ රැකියා ඒජන්සි සමග ගිවිසුම් ගතවී විශාල මුදලක් වැයකර රැකියා ලබාගෙන ඇති පිරිසක් අප අතර සිටිති. ඔවුන්ට පිටත් වීමේ දිනය දැනුම්දී ඇති අවස්ථා වලදී නියමිත ලෙස පිටත්වීමට නොහැකිවීම හේතුවෙන් ආයෝජනය කල මුදල් සම්පූර්ණයෙන් අහිමි වීමේ අවධානමටත් ඒ සදහා ලබාගත් මූල්‍ය ණය බර සමග බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.
2. සිය පවුල් සමග විදේශගත වීමට සැලසුම් කල ඇතැම් සේවකයින් මේ වනවිට සැමියා හෝ බිරිද පමණක් දරුවන් සමග විදේශගතව සිටින අතර අනෙක් සහකරු ශ්‍රී ලංකාවේ රැදී සිටීමට සිදුව ඇත. මෙවැනි තත්වයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය පවුල් එකමුතුභාවය සහ මානසික සෞඛ්‍යය බරපතල ලෙස බලපෑමට ලක්ව ඇති අතර තම සහකරු කවදා පැමිණෙන්නේද කියා නිශ්චිත අරමුණක් නැතිව දැඩි මානසික වියවුලකට පත්ව සිටී.
3. ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් ව්‍යාපාරික ස්ථාන කුලියට ලබාගෙන අත්තිකාරම් මුදල් ගෙවා ව්‍යාපාරය සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සදහා ණය ලබාගෙන ඇත. ලං.වි.ම. සේවයෙන් ඉවත් වීමට නොහැකිවීම නිසා තම සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව වියවුල් සහගත තත්වයකට පත්ව ඇත.
4. මෙම වියවුල් සහගත පරිසරය නිසා vrs අයදුම් කල සමහර සේවකයින් මේ වනවිට ආතතිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙමින් සිටී. අති ගෞරවනීය ස්වාමින් වහන්ස, අප අතරින් බොහෝ දෙනෙක් ඉහත සඳහන් කළ හෝ ඒ හා සමාන පීඩාවකට පත්ව සිටිමු. එමනිසා ඔබවහන්සේලාගේ කාරුණික අවධානය මේ සඳහා යොමුකොට අපගේ මෙම ගැටලුව හැකි ඉක්මණින් නිරාකරණය කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමු. ඔබවහෙන්සේලාගේ ගෞරවපූර්වක අවධානය සඳහා අප පහත යෝජනා ඉදිරිපත් කරමු.
1.අප මුහුණ දී සිටින අවිනිශ්චිතතාවය අවසන් කරමින් නියමිත දිනය ගැසට් මගින් හැකි ඉක්මනින් ප්‍රකාශ කිරීම. 2.නියමිත දිනය දක්වා VRS අයදුම්කර ඇති සේවකයන් හට අනුමත වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිවන සේ ලං.වි.ම. අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයට උපදෙස් ලබාදීම. ''