ශානි සහ රවී පත් කරන්න කාදිනල්වරයා ඉල්ලුවාද? - සලේගේ නඩුවෙන් උණුසුම් තොරතුරු ටික මෙන්න
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනුකර ඇති රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් ඊයේ (10) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින්, ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නොවන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ කිසිදු පුද්ගලයෙකු ආගමික හෝ ජාතික පදනම මත වෙනස්කම්වලට භාජනය නොකළ යුතු බවට ප්‍රතිපාදන පවතින බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් අදාළ තනතුරුවලට පත්කරන ලෙස ඉල්ලා සිටියේ කාදිනල්වරයා බවට ප්‍රකාශ වී ඇති බව ද ඔහු පැවසීය.
එමෙන්ම, අදාළ නිලධාරීන් දෙදෙනා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ බවට ඔවුන් විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම්වල සඳහන් කර ඇති බවත්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය සමඟ කටයුතු කළ බවට එම ලේඛනවල සඳහන් වන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
අපරාධ විමර්ශන කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් සිදුකිරීම නුසුදුසු බව ජනක් ද සිල්වා කොමිසම නිර්දේශ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් සිදු නොවිය යුතු බව එම කොමිසම නිර්දේශ කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
අරන්තලාව භික්ෂු ඝාතනය සහ දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය වැනි සිදුවීම් සිහිපත් කරමින් ඔහු සඳහන් කළේ, එම අවස්ථාවලදී මහානායක හිමිවරුන් තමන් කැමති විමර්ශකයන් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා නොසිටි බවයි.
කෙසේ වෙතත්, කාදිනල්වරයා විසින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ නොකරන බව ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර එල්ලවීමට පෙර ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබූ නමුත් එය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවට ද ඔහු කරුණු ඉදිරිපත් කළේය.
රටම බලා සිටි විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන හෙට ගන්න යන තීරණය - ජනපති හා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ඒ සම්බන්ධ විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා ලෙස විමර්ශකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබූ නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට තමන් විරෝධය පළකරන බව සඳහන් කළාය.
කාදිනල්වරයා හැර අනෙකුත් සියලුම අතරමැදි පෙත්සම්කරුවන් සුරේෂ් සලේ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.
අදාළ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් රජයේ නීතිමය ස්ථාවරය මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කළාය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සහ ඊට අදාළ සියලුම අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.