ප්ලාස්ටික් බෑග් ගාස්තුව දැනෙන ගණනකින් වැඩි කරන ලෙස ඉල්ලීමක්
ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරී ජාලය (SLEAN) ප්ලාස්ටික් බෑග් ගාස්තුව සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වෙත ඉල්ලීමක් කර තිබේ.
සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ගෙන ඇති පියවර අගය කරන නමුත්, සුපිරි වෙළෙඳසල්, සිල්ලර වෙළෙඳසල් සහ කුඩා ව්‍යාපාර රැසක් තවමත් ප්ලාස්ටික් බෑග් නොමිලේ ලබාදීම හෝ ගාස්තුව අසමතුලිත ලෙස අයකිරීම හේතුවෙන් එම ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාව අඩාල වී ඇති බවයි.
ඒ අනුව නිරන්තර පරීක්ෂණ සිදු කිරීම, නිරීක්ෂණ වැඩිදියුණු කිරීම සහ ප්‍රතිපත්තියට අනුකූල නොවන ව්‍යාපාරවලට නීතිමය පියවර ගැනීම අවශ්‍ය බව SLEAN පෙන්වා දෙයි. මීට අමතරව, ප්ලාස්ටික් බෑග් ගාස්තුවේ පරිසර හිතකාමී ප්‍රතිලාභ පිළිබඳ මහජන දැනුවත් කිරීම වැඩිදියුණු කිරීම, නැවත භාවිත කළ හැකි බෑග් භාවිතය දිරිගැන්වීම සහ රෙදි හා ජෛව විනාශයට ලක්වන බෑග් වැනි දැරිය හැකි විකල්ප ප්‍රවර්ධනය කළ යුතු බවද සංවිධානය සඳහන් කරයි.
SLEAN පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් දූෂණය තවදුරටත් ශ්‍රී ලංකාවේ ගංගා, වෙරළ තීර, වනජීවීන් සහ මහජන සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති අතර, ප්ලාස්ටික් බෑග් ගාස්තු ප්‍රතිපත්තිය සාර්ථක වන්නේ එය සාධාරණව හා අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් පමණක් බවයි.
SLEAN ජාතික සම්බන්ධීකාරක රකුලන් කන්දසාමි මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, ව්‍යාපාර සහ ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට සංවිධානය සූදානම් බවයි.