ජනතාවට සුභ ආරංචියක් - දිට්වා මගින් විනාශ වූවන්ගේ නිවාස කුලී දීමනාව තවත් මාස 3කට
අමාත්‍ය මණ්ඩලය විසින් දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (iv) මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ බව දැනුම් දී ඇත. මෙම තීරණයට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දී තිබුණේ මාස 06 ක කාලයකි.
නමුත් "ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන" යටතේ සිදු කළ නව සංශෝධනයට අනුව එම සහනය පහත පරිදි ක්‍රියාත්මක වේ:
සහනය - නායයෑම් හා ගංවතුරින් නිවාස අහිමි වී, පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව.
දීමනාව - මාසිකව රුපියල් 25,000/- බැගින්.
කාලසීමාව - උපරිමය මාස 09ක් දක්වා (පෙර පැවති මාස 6 ක කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර ඇත).
2025.12.05 දිනැති මූලික අයවැය චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සියලුම කරුණු සහ කොන්දේසි නොවෙනස්ව පවතින බවද භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.