හජ් උත්සවය වෙනුවෙන් පොලීසියෙන් කරන්න යන විශේෂ දේ මෙන්න
මෙවර හජ් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කර තිබේ .
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවයක් වන හජ් උත්සවය මෙවර මැයි 28 දිනට යෙදී ඇත.
ඒ වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව විශේෂ යාඥා පැවැත්වෙන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබේ . තවද මුස්ලිම් පල්ලි අවට රථවාහන තදබදය අවම කිරීම සහ බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
පොලිසිය සඳහන් කළේ ඉස්ලාම් බැතිමතුන් වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම සංචාර, පාමුර, බීට්ටු සහ යතුරුපැදි සංචාර ද ක්‍රියාත්මක කරන බවයි.
ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා බුද්ධි නිලධාරීන් ද යොදවා ඇති අතර, අවශ්‍ය තොරතුරු අවස්ථානෝචිතව ලබා ගැනීමට පියවර ගෙන ඇත පොලිසිය ක්‍රියාත්මක කරන මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියි.
සැකකටයුතු පුද්ගලයෙකු හෝ වස්තුවක් දක්නට ලැබුණහොත් වහාම ආසන්නතම පොලිස් ස්ථානයට හෝ 119 / 118 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ .
ඉස්ලාම් බැතිමතුන්ට සිය ආගමික වත්පිළිවෙත් බියකින් හෝ බාධාවකින් තොරව සාමකාමී පරිසරයක ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආගමික සංහිඳියාව ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා පොලිසියේ අරමුණ බව ද එම නිවේදනයේ සඳහන් වේ.