මීගොඩ මහා ඛේදවාචකයේ සුලමුල එළියට - 6ක් මරාදැමූ කැබ් රථ රියදුරු හොඳටම බීලා ඉඳලා
මීගොඩ ප්රදේශයේ දන්සලක් අසල සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව පොලීසිය තහවුරු කර තිබේ.
සැකකාර රියදුරු වයස අවුරුදු 42ක් වන පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේය.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. එහිදී පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර, ඔවුන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15, 32 සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 35, 38 ඇතුළු පිරිමි පුද්ගලයින් තිදෙනෙකු බව පොලීසිය අනාවරණය කර ඇත.
අනතුර සිදු කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, ගොඩගම හන්දියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.