ආර්ථිකයේ නව පිම්මකට ආයෝජන මණ්ඩලයේ සැලසුම්
විදේශ සෘජු ආයෝජන (FDI) සහ අපනයන වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව එහි නව සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අද (01) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ, ආයෝජන මණ්ඩලය සතුව පැවති බලතල හා කාර්යක්ෂමතාව යළි ගොඩනඟා, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලු සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි "One-Stop Shop" ආයතනයක් බවට පත් කිරීම තම ප්‍රධාන අපේක්ෂාව බවයි.
මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි
2005 වසරට පෙර පැවති තත්ත්වයටත් වඩා ශක්තිමත් දේශපාලන සහ අන්තර්-ආයතනික සහයෝගයකින් යුත් ආයෝජන ප්‍රවර්ධන ආයතනයක් ලෙස BOI ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා බවද හුලංගමුව මහතා පැවසීය.
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු දක්ෂ මානව සම්පත, ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශය සහ භූගෝලීය පිහිටීම වැනි වාසි තවදුරටත් ප්‍රයෝජනයට ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම තරඟකාරී මූල්‍ය දිරිගැන්වීම් ලබාදීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන වටිනාකම පැහැදිලිව ලොවට ඉදිරිපත් කිරීමද අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බලතල ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද නව සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික දිශානතියක් කරා ගෙන යාමේදී විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සහ අපනයන වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීම ආයෝජන මණ්ඩලයේ වගකීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ හිටපු වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාද එක්ව සිටියේය.
