වැව් ඇළවේලි වලට කරන්න යන අලුත්ම වැඩේ ඇමති ලාල්කාන්ත හෙළි කරයි

Report

රට පුරා වැව්, ඇළවේලි සහ ජල මාර්ග සංවර්ධනය කිරීම මගින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නීරිට්ටු ග්‍රාමයේ පිහිටි නීරාව් ඌට්ටුකුලම් වැව සංවර්ධන කටයුතු ඊයේ (01) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තෙලිප්පලෙයි රෝහල සංවර්ධනයට විශේෂ අවධානය - අමාත්‍යවරුන් හදිසි නිරීක්ෂණ චාරිකාවක

තෙලිප්පලෙයි රෝහල සංවර්ධනයට විශේෂ අවධානය - අමාත්‍යවරුන් හදිසි නිරීක්ෂණ චාරිකාවක


මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. වැව සංවර්ධනය කිරීමෙන් දැනට අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 400ක පමණ භූමි ප්‍රමාණය අක්කර 600කට අධික ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වන බවත්, ඒ සමඟම ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවටද සාර්ථක විසඳුමක් ලැබෙනු ඇති බවත් අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ පසුගිය අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මුලතිව් දිස්ත්‍රික්කය මෙහි ආරම්භක ස්ථානය ලෙස තෝරා ගැනීමට හේතුව එම ප්‍රදේශයේ වාරි පහසුකම් ඉහළ නැංවීමෙන් ජනතාවට සෘජු ප්‍රතිලාභ ලබාදිය හැකි වීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවිජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ කමිටුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු පැවසීය. එමෙන්ම ගොවිජන සංවර්ධන, පශු සම්පත් හා වාරිමාර්ග ආයතනවල පවතින නිලධාරී හිඟය පියවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීම්ද සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර ගොවීන්ට සහතික මිලක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නාඩු කිලෝවක් රුපියල් 120ක්, සම්බා කිලෝවක් රුපියල් 130ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 140ක් ලෙස නියම කර ඇති මිලට වඩා අඩු මිලකට වී මිලදී ගැනීම වැළැක්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම සහල් ආශ්‍රිත නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, වී සඳහා නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් සහයෝගය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලකනාදන් මහතා, දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් මහතා සහ ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.      

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අපිට නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අපිට නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව