බගවන්තලාවේ මත්ස්‍ය වෙළෙඳසැලක ගින්නක් - අසල නිවසටත් හානි සිදුවෙලා
බගවන්තලාව නගරයේ බ්‍රිඩ්වෙල් වීදියේ පිහිටි මත්ස්‍ය වෙළෙඳසැලක ඊයේ මධ්‍යම රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
බගවන්තලාව පොලීසිය සඳහන් කළේ, ගින්න හේතුවෙන් අදාළ මත්ස්‍ය වෙළෙඳසැල සහ එහි තිබූ භාණ්ඩ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
ගින්න අවට ප්‍රදේශයට පැතිර යාම වැළැක්වීමට කටයුතු කිරීමේදී, වෙළෙඳසැලට යාබදව පිහිටි තවත් වෙළෙඳසැලකට සහ නිවසකට ද අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
බගවන්තලාව පොලීසිය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර ඇති අතර, ඒ හේතුවෙන් සිදුවිය හැකි විශාල හානියක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති බව පොලීසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවූ දේපළ හානියේ වටිනාකම ද තවමත් තක්සේරු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.