තරුණ පරපුර දැඩි අවදානමක් - කිසිම හේතුවක් නිසා මේ දේවල් නිකන් පාවිච්චි කරන්න එපා
කායවර්ධනයට සහ ශරීරාලංකාර කිරීමට ලබා ගන්නා විවිධ ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශවල මෙන්ම රට පුරා වෙසෙන තරුණ පරපුර අතර වකුගඩු රෝග සෑදීමේ දැඩි ප්‍රවණතාවයක් දැකගත හැකි බව ජාතික වකුගඩු රෝහලේ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
ජාතික වකුගඩු රෝහලේදී අද (18) පැවැති "නව වකුගඩුව රැක ගමු" තේමාව යටතේ නව වකුගඩු බද්ධ කරන ලද රෝගීන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපනික සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියාය.
වකුගඩු රෝග වැළඳීමේ ප්‍රවණතාවය මීට පෙර කෘෂිකාර්මික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබුණ ද, මේ වන විට කායවර්ධන අතිරේක සහ රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු විෂ ද්‍රව්‍ය නිසා නාගරික තරුණයින් ද බහුලව මෙයට ගොදුරු වෙමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය.
ලංකාව තුළ දැනට හඳුනාගෙන ඇත්තේ සමස්ත වකුගඩු රෝගීන්ගෙන් සියයට දහයක පමණ ප්‍රතිශතයක් වුවද, රෝගය වැළඳී ඇති බව මෙතෙක් සොයාගෙන නොමැති රෝගීන් විශාල පිරිසක් රට පුරා ජීවත් වන බව වෛද්‍යවරිය මෙහිදී අනාවරණය කළාය.
විශේෂයෙන්ම දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකිරීම වකුගඩු රෝග ඇතිවීමට සෘජුවම බලපාන අතර, දැනට මෙරට ජනගහනයෙන් සියයට 10ක්ව පවතින දියවැඩියා රෝගී ප්‍රතිශතය ඉදිරියේදී සියයට 30ක් හෝ 40ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ද ඇය අනතුරු ඇඟවූවාය.
එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සඳහා රෝගීන් මෙන්ම රජය ද විශාල මුදලක් වැය කරන නමුත්, වකුගඩුවක් සොයා ගත්ත ද සෑම පුද්ගලයෙකුටම එය බද්ධ කිරීමේ වෛද්‍යමය හැකියාවක් නොමැති බැවින් රෝගය වළක්වා ගැනීම සහ දියවැඩියාව පාලනය කිරීම අතිශයින්ම වැදගත් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.