කළු පාලමේ ඉදිකිරීම් නතර කරලා නෑ ඇමති ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්
පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් නතර කර නොමැති බව ත් පෙර සඳහන් කළ ආකාරයෙන් මෙම වසර අවසාන වීමට පෙර මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර තිබේ. නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කරන්නේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි .
මෙම රැස්වීම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ සම සභාපතිත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ වගේම ඔහු සදහන් කළේ කළු පාලම ස්ථාවර කිරීමේ වැඩකටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත් ඊළඟ පියවරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ මෙවන් අදහසක්
“කළු පාලම ඇලවීම නතර කර ස්ථාවර කර තිබෙනවා. එහි ඇද වී තිබුණු ගල් කුළුණ තවදුරට ත් ඇලවීම ඉන්ජිනේරු තාක්ෂණය අනුව නතර කර මේ වන විට පාලම ස්ථාවර කර තිබෙනවා. පසුගිය 21 වන දින විශාල වර්ෂාපතනයක් ඇදවැටුණා. ගඟේ ජල මට්ටම වැඩිවෙලා එම ස්ථානයේ තාවකාලිකව ඉදිකර තිබූ පාලමට හානි වුණා. මෙතැන වැඩ සඳහා ස්කැවේටර්ස් දෙකක් කුලියට ගත්තා. ඒ වගේ අවශ්‍යතාවක් දැන් නැහැ. වතුර පොම්ප කරන යන්ත්‍රත් කුලියට ගත්ත ඒවා. ඒ සියල්ල නැවත භාර දුන්නා. මෙතැන තියෙන යන්ත්‍ර අඩු වෙනවා වගේ ම මිනිස්සු වැඩ නොකරන බවක් පිටතින් බලන කෙනෙකුට පෙනෙන්න පුළුවන්. ඒක වැරදියි. ඊළඟ පියවර ආරම්භ කරනවා. තාක්ෂණික කමිටුව සමග ඉදිරි වැඩ ගැන සාකච්ඡා කරනවා. බිමල් ඇමැතිවරයා පැවසූ පරිදි මෙම වසර අවසන් වීමට පෙර මහනුවරට දුම්රියක් ගේන්න අපි සැලසුම් කරනවා. ඉන්දියානු ණය ආධාර යටතේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා කොටස හදන්න සැලසුම් කරනවා.
මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳ පොළි අනුපාත හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව රඹුක්කන සිට පේරාදෙණිය දක්වා පස්කඳු ඉවත් කරගෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව කලින් ලාභ ලැබුවේ නැහැ. ඒ නිසා කෝච්චි නොදුවන එකේ පාඩුව දෙපාර්තමේන්තුවට වඩා දුම්රිය මගීන්ටයි. මොකද ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍රයක් ගන්නත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික වාර ප්‍රවේශ පත්‍රයට වඩා වැඩි මුදලක් වැය කරන්න වෙනවා.”